nsb

Jan 11, 2017

සිවිල් සමාජය මෛත්‍රීට එරෙහිවන ලකුණු ! Featured

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය ජනාධිපතිවරණයේදී දුන් පොරොන්දුව කඩ කරමින් ඔහු නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විධායක ජනාධිපති ධුරය පවත්වාගෙන යායුතු බවට ගනුලැබූ තීරණය පිළිබඳව 'සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය' සිය දැඩි අප්‍රසාදය පළ කරයි.

එම ව්‍යාපාරය පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ මූලික පොරොන්දුව මත පසුගිය ජනාධිපතිවරණයේ දී එවක පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමිගේ නායකත්වයෙන් යුතුවූ සාධාරණ සමාජයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සහය දුන් බවය.

'බීබීසී සංදේශය' වෙත අදහස් දැක්වූ අමාත්‍ය සරත් අමුණුගම මහතා, විධායක ජනාධිපතිධුරය එලෙසම පවත්වාගෙන යාමටත් 2020 වසරේ ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාම ඉදිරිපත් වියයුතු බවටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව කියා සිටියේය.


මෛත්‍රීගේ දේශපාලන අනාගතය ?
මේ පිලිබඳව බීබීසී වෙත ප්‍රකාශයක් කරමින් සාධාරණ සමාජයක් සඳහාවූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා කියා සිටියේ, ජනාධිපතිවරණයේ ප්‍රධාන ප්‍රතිඥාව ඉටු නොකළහොත් එය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන අනාගතය තීරණය කෙරෙන සාධකයක් වන බවයි.

"නිර්පාක්ෂික අපේක්ෂකයෙක් බලයට පත්වෙන්නේ ඒ ප්‍රතිඥාව උඩ. ඒ ප්‍රතිඥාව ඉටු නොකොළොත් ඒක එතුමාගේ දේශපාලන ජීවිතය තීරණය කරන සාධකයක්"

නීතිගරුක පුරවැසියන් පත්කළ නිර්පාක්ෂික අපේක්ෂකයා සොරකම් කර සිය න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන බවට ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට චෝදනා කළේය.


ජනමත විචාරණයක් නැහැ !
මේ අතර ඊයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍ය එස්.බී.දිසානායක මහතා, '' ජනමත විචාරණයකට යන නව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවක් සඳහා මෛත්‍රීපාල ජනාධිපතිතුමාට හා ඒ කණ්ඩායම ජනතාවට දුන් පොරොන්දු අනුව වරමක් නැහැ. අපි එහෙම එකක් ඉල්ලලත් නැහැ. ඒ නිසා ජනාධිපති ක්‍ර‍මයේ බලතල අඩුකරන සංශෝධන ඇරෙන්න තව ඉන් එහාට යනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගැටළුවක් තියෙනවා'' යයි පැවසිය. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මීළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන්නේ, පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා බැව් ද අමාත්‍ය එස්.බී.දිසානායක මහතා එම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.

'මෛත්‍රීව නම්කර නැ' - චන්ද්‍රිකා 
කෙසේවුවද ඊයේ (10)  පැවති මාධ්‍ය හමුවකදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පැවසුයේ, 2020 මීළග ජනාධිපතිවරණයේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කිරීමට සිය පක්‍ෂය තීරණයක් ගෙන නොමැති බවයි. 

“එක එක්කෙනා අදහස් කියනවා.. ඒත් පක්ෂය තීන්දු කරලා නැහැ.  මමත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් තමයි. ජනාධිපතිතුමා පොරොන්දු වුණා..විධායක ජනාධිපති ධූරය එතුමාගේ ධූර කාලයෙන් පස්සෙ නැති කරනවයි කියලා.” යයි ඇය එහිදී සඳහන් කළාය. 

මෙතෙක් මෙම කාරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා කිසිත් ප්‍රකාශ කර නොමැත.


සබැඳි පුවත් :
'ජනමත විචාරනයකට ජනවරමක් නැහැ - සංශෝධන පමණයි' - එස්.බි. 

'මෛත්‍රීව ජනාධිපති අපේක්ෂක ලෙස නම්කර නැ' - චන්ද්‍රිකා

ජනපතිට සදාචාරාත්මක අයිතියක් නෑ' - එජාප

2020 - ජනාධිපති අපේක්ෂක මෛත්‍රී : අගමැති අපේක්ෂක ගෝඨා !!

2020 - ‘ජනපති අපේක්ෂකයා’ හෙළිකරයි

ජනමත විචාරණ නැහැ - මීළඟ ජනපතිවරණයටත් මෛත්‍රී

සිරස 'ගෝඨා' සමඟ ගමින් ගමට !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top