nsb

Jan 11, 2017

'ජනපති වගකිවයුතු නැ -අගමැති අස්විය යුතුයි' - ජි.එල්. Featured

අගමැතිවරයා පිළිබඳව පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ට විශ්වාසයක් නොමැති බැවින් අගමැතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බව පවසන හිටපු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා, ඒකාබද්ධ විපක්ෂයේ අරමුණ එය බව ද කියා සිටියි.

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් හිටපු අමාත්‍යවරයා එබව සඳහන් කළේය.

විපක්ෂය පවසන පරිදි ආර්ථිකය කඩාවැටීම වැනි කරණාවලට වගකිවයුත්තේ ජනාධිපතිවරයා නොවේදැයි මාධ්‍යවේදියකු විමසූ විට එය තමන් පිළිනොගන්නා බව පැවසූ හිටපු විදේශ අමාත්‍යවරයා, ඊට වගකිවයුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවට චෝදනා කළේය.

තමාගේ සහ කතානායකවරයාගේ සහාය නොමැතිව ආණ්ඩු පෙරලිය නොහැකි බවට ජනාධිපතිවරයා පසුගියදා පලකළ අදහස ගැන කරුණු දැක්වූ හිටපු අමාත්‍යවරයා, අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය වෙනස් කිරීමේ උත්සාහයට කතානායකවරයාගේ සහයක් අවශ්‍ය නොවන බව සඳහන් කළේය.


දෝෂාභියෝගයක අදහසක් නෑ


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කර ඔහු බලයෙන් පහකිරීමට ඒකාබද්ධ විපක්ෂයේ කිසිදු අදහසක් නොමැති බව ද හිටපු අමාත්‍ය ජීඑල් පීරිස් මහතා මෙහිදී අවධාරණය කර සිටියේය.

2017 ආණ්ඩුව පෙරළීම ජනාධිපතිවරයාට එරෙහි වැඩපිළිවෙලක් නොවන බවත් ඔහු සඳහන් කළේය.

"අපි කිසිසේත් කතාකරල නැහැ දෝෂාභියෝගයක් ගැන. අතිගරු ජනාධිපතිතුමා ගැන පියවරක් ගැනීම ගැන කවුරුවත් සඳහන් කරලා නැහැ," ඔහු පැවසීය.

"මේ කතාකරන්නේ ජනාධිපතිතුමාට එරෙහි වැඩපිළිවෙලක් ගැන නෙවෙයි අගමැතිතුමාට හා ඔහුගේ කැබිනට් මණ්ඩලයට එරෙහි වැඩපිළිවෙලක් ගැන."

කෙසේ නමුත් 2017 වසරේදී වත්මන් ආණ්ඩුව පෙරලා දමන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා ප්‍රකාශයක් කළේ, ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ අදහසින් බව ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි පසුගියදා 'බීබීසී සංදේශය'ට පැවසීය.


යහපාලන දිගු නොකරන්න :


මේ අතර රාජපක්ෂවරුන්ට හිතවත් සංවිධානයක් වන 'දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරය', වත්මන් යහපාලන ගිවිසුම අවසන් වීමෙන් පසු තවත් කල් නොයවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ ඒකාබද්ධ විපක්ෂයේ වෙනත් අයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්නැයි  ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

එම සංවිධානයේ ආචාර්ය නලීන් ද සිල්වා මෙම අදහස් පල කළේ පසුගියදා කොළඹ පැවති සම්මන්ත්‍රණයකදීය.

එක්සත් ජාතික පක්ෂය සමඟ ඇති දේශපාලන සම්බන්ධතාව අත්හරින ඕනෑම අවස්ථාවක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ දේශපාලන නායකත්වය පිළිගෙන ශ්‍රීලනිපය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශප්‍රේමී බලවේගවල එකතුවෙන් යුතු ආණ්ඩුවකට සහාය දීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සහ පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ප්‍රභාත් ගම්මන්පිල යන මහත්වරුන් ද එකඟතාව පළකර ඇතැයි ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


සබැඳි පුවත්


මෛත්‍රී සමඟ ආණ්ඩුවක් හදන්න විමල් - ගම්මන්පිල එකඟයි !

'ජනාධිපතිට එරෙහිව දෝෂාභියෝගයක්' - අසාද් සාලි

'යහපාලන ගිවිසුම දිගු නොකර මහින්ද අගමැති කරන්න'

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top