nsb1221

Jan 12, 2017

GSP+ සහන නැවතත් - මානව හිමිකම් රැකුමට රජය එකඟයි

ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සඳහා පනවා ඇති ආනයන බදුවලින් සැළකිය යුතු ප්‍රමාණයක් ඉවත් කිරීමට යුරෝපා කොමිසම තීරණයකර තිබේ.

යුරෝපා කොමිසම මෙම යෝජනාව කරනුයේ යුරෝපා සංගමය විසින් පිරිනමනු ලබන GSP+ සහනය යටතේය.

මෙම පියවර යටතේ බදු වර්ගීකරණවලට අදාළ 66%ක ප්‍රමාණයක් සම්පුර්ණයෙන් ඉවත් කෙරෙන අතර ඒ අනුව ඇඟලුම්, මත්ස්‍ය නිෂ්පාදන ඇතුළු ශ්‍රී ලංකාවේ නිෂ්පාදන වර්ග රැසක් සඳහා වූ ආනයන බදු ඉවත් කෙරේ.


ශ්‍රී ලංකාවේ කැපවීම


කෙසේවුවද මෙම සහනය යළි ලබා දීමෙන් අනතුරුව ද තිරසර සංවර්ධනය, මානව හිමිකම් මෙන්ම යහපාලනය කෙරෙහි වූ ශ්‍රී ලංකාවේ කැපවීම සම්බන්ධයෙන් දැඩිව නිරීක්ෂණය කෙරෙනු ඇති බව යුරෝපා කොමිසම පවසයි.

GSP+ සහනය හරහා යුරෝපා සංගමයේ වෙළෙඳපොල වෙත යැවෙන සිය අපනයන ඉහළ නංවාගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සැළකිය යුතු දායකත්වයක් සැපයෙන අතරම ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය මෙන්ම යහපාලනයට අදාළ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තමන්ට සහය විය හැකි ආකාරය ද මෙයින් පෙන්නුම් කෙරෙන බව යුරෝපා කොමිසමේ වෙළෙඳ කොමසාරිස් සිසිලියා මැල්ම්ස්ට්‍රොම් පවසන්නීය.

එම ක්ෂේත්‍රයන්හි ප්‍රගතියක් දැකිය හැකි යයි තමන් විශ්වාස කරන අතරම GSP+ පිළිබඳ සංවාද හා නිරීක්ෂණ අදාළ ප්‍රතිසංස්කරණවලට සහය වනු ඇතැයි ද ඇය කියා සිටී.


මානව හිමිකම් ප්‍රඥප්ති :


එසේම ඇය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්දන නීති ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිවලට සම්පුර්ණයෙන් අනුකූල විය යුතු බව ද මීට ඇතුළත්වන බවය.

කෙසේවුවද මෙම පියවර ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා ප්‍රතිවිරෝධතා වේ නම් ඉදිරිපත් කිරීමට යුරෝපා පාර්ලිමේන්තුවට හා යුරෝපා කොමිසමට මාස හතරක් දක්වා වූ කාලයක් ඇත.

යුරෝපා කොමිසම විසින් 2010 වසරේ සිට ශ්‍රී ලංකාවට ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය අත්හිටුවා තිබුණි.

ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය යළි ලබා ගැනීමට හැකිවීම යහපාලන රජය ලබාගත් ජයග්‍රහණයක්‌ නොව මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ගේ ජයග්‍රහණයක්‌ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක්‌ නිකුත් කරමින් කියා සිටී.


(මූලාශ්‍රය - බිබිසි සංදේශය)

 

Top