Jan 12, 2017

පේෂලගේ 1 හිඟුරක්දමනෙදි අතුරුදහන් ! Featured

වසර 2017 දී පළමු වසරට තම දරුවන් ඇතුලත් කර ගැනීමට පාසලක් නොමැති බව පවසමින් ඊයේ (11) හිගුරක්ගොඩ සෝමාවතිය මාර්ගයේ 6 කනුව ප්‍රදේශය හරස් කරමින් දෙමාපියන් පිරිසක් විරෝධතාවයක නිරත විය.
 
විරෝධතාවයේ නිරත දෙමාපියන් කියා සිටියේ හිගුරක්දමන මහා විද්‍යාලයට 2017 වසර සදහා සිසුන් ඇතුලත් කරගැනීමට සම්මුක පරික්ෂණ පවත්වා පෙළ පොත් පවා ලබාදී ඊයේ (11) දිනයේදී දරුවන් භාරගැනීමට පොරොන්දුව සිට එය කඩ කළ බවයි.
 
මේ දරුවන් භාර ගැනීමට පංතිකාමරද සකස්කර පාසලට ලමුන් භාරගැනීමට පෙරදිනයේදී පොලොන්නරුව කලාප කාර්යාලයෙන් 2017 සදහා එක වසරට දරුවන් භාර නොගන්නා ලෙස පාසලට ලිපියක් එවා ඇති බැවින් දරුවන් භාර ගත නොහැකි බව එහි විදුහල්පතිවරයා දෙමාපියන්ට දන්වා ඇත.
 
“මුන්ට හෙණ ගහන්න එපැයි” 
 
මේ පිළිබද අදහස් දැක්වු දරුවකුගේ පියෙක් වන ඩී.එම්.ඒ.  තිලකරත්න මහතා මෙසේ කියා සිටියේය.
 
“මහ ඇමැති පේෂල ජයරත්න මහත්තය ඉස්කොලේ 70 වෙනි සැමැරුමට ආවා ඒ ආපු වෙලේ කිව්වා 2017 වසර සදහා ළමයි මේ පාසලට දාන්න කටයුතු කරනවා කියලා. ඒ අනුව හිගුරක්දමන විද්‍යාලයේ  විදුහල්පති විසින් පසුගිය දා සම්මුක පරික්ෂණ පැවැත්තුවා ළමයි තෝරා ගත්තා. පොත් පවා දුන්නා. අපේ ඔක්කොම දරුවෝ 25ක් ඉන්නවා. ලංකාවේ හැම තැනම දරුවො අද ඉස්කොලේ යනවා අපේ ළමයි මහ පාරේ මේවා හරිම අසාධාරණයි. අපි කියන්නේ දරුවන්ට මේ පාසල ලබා දෙන්න කියලා.” 
 
“අපේ දරුවන්ටයි අපිටයි බලධාරියො සහ නිළධාරියෝ බොරු කියලා රැවැට්ටුවා. ඒ විතරක් නෙවෙයි හෙට ලමයි භාර ගන්නේ කියලා  අද කියනවා බෑ කියලා මුන්ට හෙණ ගහන්න එපැයි. අපේ දරුවන් මේ පාසැලට ගන්නේ  නෑ කියලා කලින් කිව්ව නම් අද මේ වාගේ දෙයක් අපේ දරුවන්ට වෙන්නේ නෑ.” 
 
උතුරුමැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක නිර්මලා එකනායක මහත්මියගෙන් අප කළ විමසීමකදී ඇය කියා සිටියේ එම පාසලට ප්‍රාථමික දරුවන් ඇතුළත්කරගත නොහැකි බවයි.
 
එම පාසලට ප්‍රාථමික දරුවන් ඇතුළු කරගන්නා බව තමාට දන්වා නොතිබූ බවද කියා සිටි ඇය ඒ අනුව නීතිමය පැත්තෙන් ඊට සහයක් නැති බවද ඇය කියා සිටියාය.
 
හිඟුරක්දමන පාසලට දරුවන් ඇතුළු කිරීමට උත්සාහ දරණ දෙමාපියන්ගෙන් ඔවුන් එම ආසන්නයේ ප්‍රාථමික ළමුන් සිටින පාසලකට ඇතුළත් කරන ලෙස තමා ඉල්ලා සිටින බවද ඒකනායක මහත්මිය පැවසුවාය.
 
සටහන හා ඡායාරූප - ඩබ්ලිව්. ඒ. පියතිලක
 
 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top