nsb1221

Jan 12, 2017

“ඉරිදා” ප්‍රධාන කර්තෘ හා සල්ලි දැමූ අය අතුරුදහන් ! Featured

විජිත පබ්ලිකේෂන් ලිමිටඩ් නමින් හෝකන්දර උතුර, අතුරුගිරිය පාර, අංක 388/ඒ, ලිපිනයේ පවත්වාගෙන ගිය “ඉරිදා” පුවත්පතට මුදල් යෙදවූ පුද්ගලයා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී ඇතැයි වාර්තා වේ.
 
එහි සේවකයින්ට පසුගිය නොවැම්බරයේ සිට වැටුප් නොගෙවා ඇති අතර, මෙම පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කළ මොහාන් සමරනායක මහතා ද මේවන විට අතුරුදහන්ව ඇතැයි එහි සේවයේ නියුතුව සිටි අය කියති.
 
ඉකුත් ජනවාරි 02 වැනිදා සිට සේවකයින්ට වැඩට පැමිණෙන ලෙස එහි කළමනාකාර අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ සාරංග අලහප්පෙරුම නැමැත්තා දැනුම් දී තිබී ඇති අතර ඒ අනුව එහි සේවකයින් එදින සේවයට වාර්තා කිරීමට පැමිණෙන විට කාර්යාලය පිටතින් දොරගුලු හා දම්වැල් ඉබි යතුරු දමා වසා දමා තිබූ බව වාර්තා වේ.
 
සාරංග අලහප්පෙරුම නැමැත්තා විසින් පසුගිය සැප්තැම්බර් මාසයේ එහි සේවයෙන් පහ කරන ලද 15 දෙනෙකුගේ කණ්ඩායමක් පැමිණිලි දමා අති බව අතුරුගිරිය පොලීසිය පැවසීය.
 
ඊට අමතරව මාස 3ක හිඟ වැටුප් ඉල්ලා සහ රැකියාවෙන් ඉවත් කරන්නේ නම් නිසි පරිදි වන්දි මුදලක් ලබා දෙන ලෙස ඉල්ලමින් ජනවාරි 03 වැනිදා සිට ජනවාරි 07 වැනිදා දක්වා තවත් අට දෙනෙක් අතුරුගිරිය පොලිසියට පැමිණිලි කර තිබේ.
 
නියෝජ්‍ය ඇමති බස්නායකගේ මස්සිනාගේ නංගි
 
මේ සමාගමේ කොටස් හිමිකාරිත්වය දරන්නේ විදුලි සංදේශ ඉංජිනේරුවෙක් වන ඉන්දික පරාක්‍රම අලහප්පෙරුම හා විජිත සමූහ ව්‍යාපාරය බව පැවසේ.
 
ඉන්දික, අංක 395/2 බී, වේරහැර, බොරලැස්ගමුව පදිංචිකරුවකු වන අතර ඔහුද මෙවන විට අතුරුදහන්ව ඇතැයි පැවසේ.
 
විජිත සමූහ ව්‍යාපාරය නීත්‍යානුකූල නොවන මූල්‍ය ව්‍යාපාර පවත්වාගෙන යනු ලබන සමාගමක් බවටද චෝදනා එල්ලව ඇති සමාගමක් වන අතර එහි විධායක නිලධාරී ලෙස කටයුතු කරන එම්. ශ්‍රීනික නිමේන්ද්‍ර නැමැත්තාට එහි සේවකයින්ට මැරබලය යෙදවීම සම්බන්ධයෙන්ද චෝදනා එල්ලව ඇත.
 
ඉරිදා හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කරන ලද සාරංග, රජයේ නියෝජ්‍ය ඇමතිවරයෙක් වන සාරනාත් බස්නායක මහතාගේ නැගණියක සමඟ විවාහ වී සිටින බවද පැවසේ. (සාරානාත් හිටපු අමාත්‍ය බන්දුල බස්නායක මහතාගේ පුත්‍රයාය)
 
සාරංග රාජපක්ෂ ආණ්ඩු සමයේදී පරිසර අධිකාරියේ ඉහල තනතුරක් හෙබවූ අයෙකි.
 
 
Top