Jan 13, 2017

'කොළඹ පාසල්වලට හොර ලේඛනවලින් ළමයින් අරගෙන' Featured

ව්‍යාජ ලිපි ලේඛන සකස්‌ කර කොළඹ හා කොළඹ අවට ප්‍රධාන පාසල්වලට මේ වසරේ ද ළමුන් ඇතුළත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාඡ් කාරියවසම් මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ 2017 වසර සඳහා පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස සහභාගි වෙමිනි. කෝට්‌ටේ ආනන්ද ශාස්‌ත්‍රාලයේ දී එම උත්සවය පැවැත්විණ.

මේ සඳහා ඇතැම් පාසල්වල ආදි ශිෂ්‍ය සංගම්වල සහාය ලබාගෙන කටයුතු කර තිබෙන බවත්, ඒ සඳහා ඇතැම් පුද්ගලයන් මුදල් ලබාගෙන තිබෙන බවත් ඇමතිවරයා එහිදී සඳහන් කළේය. 

පළමු ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කිරීමට අවශ්‍ය උපදෙස්‌ සහිත චක්‍රලේඛන කොතෙක්‌ නිකුත් කර තිබුණ ද, තවමත් අයථා ක්‍රමවලින් ළමුන් ඇතුළත් කරගන්නා බවට තොරතුරු වාර්තා වන බව ඔහු කියා සිටියේය. 

රාජකීයට තහනමක් !

රාජකීය විදුහලට ලමුන් ඇතුලත් කිරීමේදී ආදි ශිෂ්‍ය සංගමයේ මැදිහත් වීමෙන් කොළඹ තානාපති කාර්යාල වල ලිපින පවා පදිංචි ස්ථාන ලෙස සඳහන් කර ඇතැයි ඇමැතිවරයා පැවසිය.

මේ අතර, 2017 වසර සඳහා 1 ශ්‍රේණියේ සිසු දරුවන්ගේ නව පාසල් වාරය 11දා ආරම්භවූ අතර, කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළු ජනප්‍රිය පාසල් කිහිපයක එම කටයුත්ත තාවකාලිකව කල්දමා ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි හෙළි කරයි.

දරුවන් තෝරා ගැනීමේදී ව්‍යාජ ලිපිනය සහ තවත් කූඨ ලේඛන  ඉදිරිපත්ව තිබීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ලංකා ගුරු සංගමය මගින් ඇමතිවරයා දැනුවත් කළ පසුව ඒවා ගැන විමර්ශනයක් තවම සිදුකරමින් පවතින නිසා මෙම තීරණය ගත් බව අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්‌ටිආරච්චි මහතා පැවසීය.

එමෙන්ම දිවයින පුරා පිහිටි පාසල්වලට පළමු ශ්‍රේණියට ළමයින් ඇතුළත් කර ගන්නා ආකාරය පිළිබදව විමර්ශනය කිරීමට කණ්ඩායම් කිහිපයක් ද යොදවා ඇත.

කොළඹ රාජකීය විද්‍යාලයයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ කටයුතු මේ වනවිට නවත්වා ඇතත් එය ලබන සඳුදා සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.

මෙවර දිවයින පුරා පළමු වසරට ඇතුළත් කරගත් ළමුන් සංඛ්‍යාව තුන්ලක්ෂ පනස් දහසකට අධිකය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top