Jan 13, 2017

නියඟය: ත්‍රිවිධ හමුදාවත් සීරුවෙන් ! Featured

ශ්‍රී ලංකාව මේ දිනවල මුහුණදෙන නියඟයට මුහුණදීම පිණිස හමුදා නිලධාරීන්ද යෙදවීමට බලාපොරොත්තුවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ත්‍රීකුණාමලය චීන වරාය නාවික හමුදා කදවුරේ පැවති ආධුනික සෙබළුන්ගේ විසිර යාමේ උත්සවයකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා අද (13) මේ බව කියා සිටියේය.

"ඇති වී තිබෙන නියඟ තත්වයේදී ජනතාවට අවශ්‍ය සහන සැලසීමට මා බලාපොරොත්තු වෙනවා රජයේ නිලධාරීන් සමග එක් එක් දිස්ත්‍රික්ක සඳහා ත්‍රිවිධ හමුදාව යෙදවීමට," ඔහු පැවසීය.

හමුදාව ගැන දැඩි විශ්වාසයකින් :

ත්‍රිවිධ හමුදාව සම්බන්ධයෙන් තමන් දැඩි විශ්වාසයකින් කටයුතු කරන බව පැවසු ජනාධිපතිවරයා, තිස් වසරක් පුරා පැවති යුද්ධය නිමා කිරීමට ත්‍රිවිධ හමුදාව කටයුතු කළ ආකාරය මෙහි දී සිහිපත් කළේය.

ගතව ගිය දශක කිහිපය මුළුල්ලේම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා මහජන සුබසාධන කටයුතුවල නිරත වී තිබෙන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, නියඟයෙන් පෙලෙන ජනතාවට සහන සැලසීම පිණිස හමුදාව යෙදවීම සම්බන්ධයෙන් ඊයේ (12) සවස ආරක්ෂක ලේකම්වරයා සහ නාවික හමුදාපතිවරයා සමග සාකච්ඡා කළ බවත් සඳහන් කළේය.

ඒ අනුව නියඟය පවතින ප්‍රදේශවල ජනතාවට පානීය ජලය ලබාදීම, අවශ්‍ය වුවහොත් ඔවුන්ට ආහාර සහනාධාර බෙදාහැරීම වැනි කටයුතුවල වගකීම හමුදාවට භාරදීම සිය බලාපොරොත්තුවන බවත් ඔහු පැවසීය.

තාක්ෂණික යුද්ධය:

තිස් වසරක් පුරා පැවති යුද්ධය නිමා කිරීමට කටයුතු කල ත්‍රිවිධ හමුදාව, තාක්ෂණික යුද්ධය ජය ගැනීමට කටයුතු කල යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ඒ සඳහා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට ලබා දෙන සම්පත් වර්ධනය කරමින් හමුදාවේ තාක්ෂණික දැනුම සහ ශිල්පීය ඥානය වර්ධනය කිරීම පිණිස කටයුතු කරන බවටත් ජනාධිපතිවරයා ත්‍රිකුණාමලයේදී ප්‍රතිඥා දුන්නේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top