nsb

Jan 14, 2017

ලංකා බැංකු ආරක්ෂක ටෙන්ඩරයේ මගඩියක්! Featured

ලංකා බැංකුවේ ආරක්ෂාව සම්බන්ධ ටෙන්ඩරය පිරිනැමීමේ විනිවිදභාවය සම්බන්ධ බරපතළ ගැටලුවක් ඇති බව එම බැංකුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

අප වෙත වාර්තා ලැබී ඇති ආකාරය අනුව අදාළ ආරක්ෂක අංශ සාමාජිකයන් 800ක් වෙනුවෙන් 2016-08-16 කැඳවූ ටෙන්ඩරය ලබා දී ඇත්තේ පෞද්ගලික ආරක්ෂක සමාගම් 3ක් සඳහා පමණක් වන අතර ඒ හේතුවෙන් මසකට රුපියල් ලක්ෂ 10 කට අධික මුදලක් බැංකුවට අහිමි වන තත්ත්වයක් ද පෙන්නුම් කරයි.

මෙම කරුණු මත අදාළ ටෙන්ඩරය නිකුත් කිරීමේ දී කිසියම් අත යට ගනුදෙනුවක් සිදුව ඇතිද යන සැකය මතුව ඇති බවත් මෙරට රාජ්‍ය බැංකු ඉතිහාසයේ වාර්තා නොවන අන්දමින් පළාත් 5කට අදාළ ආරක්ෂක අංශ නියෝජිතයන් එක් සමාගමකට ලබා දීම තුළ එම සැකය තවත් වර්ධනය කරන බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.


අපකීර්තියට පත්වීමේ අවදානමක් :


ඒ බව තහවුරු කරමින් අප වෙත ඔවුන් තොරතුරු ඉදිරිපත් කර සිටින්නේ ආරක්ෂක අංශ සාමාජිකයන් වැඩිම පිරිසක් අපේක්ෂා කරන මධ්‍යම (170), උතුර (115), උතුරුමැද (110), සබරගමුව (115), වයඹ (120) යන කලාප සඳහා Gajashakthi Security Service යන එක් ආරක්ෂක සමාගමක් වෙත දීම සහ ඌව (90) සහ බස්නාහිර (80) සඳහා ඇති ටෙන්ඩර් දෙක පමණක් පිළිවෙළින් Iron Arms security service, Crown Royal Security Service  සමාගම් දෙකකට දීම ගැටලු සහගත බවය.

ඒ අනුව අවම වශයෙන් වැඩිම පිරිසක් ආරක්ෂකයන් අපේක්ෂා කරන කලාප දැනට ටෙන්ඩරය ලබා දී ඇති Iron Arms security service, Crown Royal Security Service සමාගම් වෙතවත් නිකුත් කර නොමැති බවත් අදාළ වගකිවයුත්තන් මේ ගැන සොයා බලා සාධාරණයක් ඉටු නොකළහොත් තවත් දූෂණ ඇති තැනක් ලෙස ලංකා බැංකුව අපකීර්තියට පත්වීමේ අවදානමක් ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් සඳහා අප ලංකා බැංකුවේ සභාපතිවරයා ඇමතූ නමුත් ඔහු දුරකථනයට සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.


(සංජය ලියනගේ)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top