nsb

Jan 14, 2017

'GSP+ ලැබුණේ කිසිදු කොන්දේසියක්‌ නැතුවයි' - මුදල් ඇමැති

ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය යළි රටට ලබාගැනීමට හැකි වූයේ කිසිදු කොන්දේසියකට යටත්ව නොවන බව මුදල් ඇමැති රවි කරුණානයක මහතා පවසයි.

මුදල් අමාත්‍යාංශයේදී පසුගියදා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු එබව කීවේය.

යුරෝපා පාර්ලිමේන්තුවේ විවාද කිරීමෙන් පසු මේ සහනය ලැබීමට නියමිත බවත් මෙමඟින් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක පමණ බදු සහනයක්‌ රටට ලැබෙන බවත් ඇමැතිවරයා එහිදී පැවසිය.

මෙහි ආර්ථික වාසි ගැන අවබෝධයක්‌ නොමැති නිසා විවිධ අය විවිධ කතා කියන නමුත් මින් සියයට 11 ක පමණ බදු වාසියක්‌ ලැබෙන බවද මුදල් ඇමැති රවි කරුණානායක කීවේය.


නැතැයි කියන කොන්දේසි මෙන්න :


ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය යළි ශ්‍රී ලංකාවට ලබාදීම සඳහා කිසිදු කොන්දේසියක් පනවා නැතැයි මුදල් ඇමැතිවරයා පැවසුවද,  මෙම සහනය යළි ලබා දීමෙන් අනතුරුව ද තිරසර සංවර්ධනය, මානව හිමිකම් මෙන්ම යහපාලනය කෙරෙහි වූ ශ්‍රී ලංකාවේ කැපවීම සම්බන්ධයෙන් දැඩිව නිරීක්ෂණය කෙරෙනු ඇති බව යුරෝපා කොමිසම පවසයි.

GSP+ සහනය හරහා යුරෝපා සංගමයේ වෙළෙඳපොල වෙත යැවෙන සිය අපනයන ඉහළ නංවාගැනීම තුළින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට සැළකිය යුතු දායකත්වයක් සැපයෙන අතරම ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය මෙන්ම යහපාලනයට අදාළ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තමන්ට සහය විය හැකි ආකාරය ද මෙයින් පෙන්නුම් කෙරෙන බව යුරෝපා කොමිසමේ වෙළෙඳ කොමසාරිස් සිසිලියා මැල්ම්ස්ට්‍රොම් පවසන්නීය.

එම ක්ෂේත්‍රයන්හි ප්‍රගතියක් දැකිය හැකි යයි තමන් විශ්වාස කරන අතරම GSP+ පිළිබඳ සංවාද හා නිරීක්ෂණ අදාළ ප්‍රතිසංස්කරණවලට සහය වනු ඇතැයි ද ඇය කියා සිටී.


මානව හිමිකම් ප්‍රඥප්ති :


එසේම ඇය පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්දන නීති ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රඥප්තිවලට සම්පුර්ණයෙන් අනුකූල විය යුතු බව ද මීට ඇතුළත්වන බවය.

කෙසේවුවද මෙම පියවර ක්‍රියාත්මක කිරීමට පෙර ඒ සඳහා ප්‍රතිවිරෝධතා වේ නම් ඉදිරිපත් කිරීමට යුරෝපා පාර්ලිමේන්තුවට හා යුරෝපා කොමිසමට මාස හතරක් දක්වා වූ කාලයක් ඇත.

යුරෝපා කොමිසම විසින් 2010 වසරේ සිට ශ්‍රී ලංකාවට ජී. එස්‌. පී. ප්ලස්‌ සහනය අත්හිටුවා තිබුණි.


 ජාත්‍යන්තරයට ලැබුණු සහතිකයෙන් :


ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය ලැබීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අගමැති අනිල් වික්‍රමසිංහ මහතා, රට තුළ නීතිය හා සාමය ක්‍රියාත්මක වන බවට ජාත්‍යන්තරයෙන් ලැබුණු සහතිකයක්‌ ලෙස යුරෝපා කොමිසම විසින් නැවත ශ්‍රී ලංකාවට ජී. එස්‌. පී. ප්ලස්‌ බදු සහනය ලබාදීම හැඳින්විය හැකි යෑයි පවසයි.

අගමැතිවරයා එසේ පැවසුවේ පෙරේදා (12 වැනිදා) ගාල්ල කරාපිටිය සුනන්දාරාම පුරාණ විහාරයේ චෛත්‍යරාජයාණන් වහන්සේ විවෘත කිරීමේ උත්සවයට එක්‌වෙමිනි.


සබැඳි පුවත්

GSP+ සහන නැවතත් - මානව හිමිකම් රැකුමට රජය එකඟයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top