Jan 14, 2017

'ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලනවා' - මංගල (වීඩියෝ)

 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගන්නා ලද යෝජනාවෙන් ඉල්ලා තිබෙන යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය පිහිටුවීම සඳහා තවත් කල් ඉල්ලීමට ශ්‍රී ලංකාවේ රජය පියවර ගනිමින් සිටී.

 යුද්ධයේ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් විභාග කිරීමේ යාන්ත්‍රණය කුමක් විය යුතුද යන්න සම්බන්ධයෙන් රජය තවමත් එක මතයකට පැමිණ නැති නමුත්, මේ අවුරුද්ද අගදී සියලු යාන්ත්‍රණ පිහිටුවීම පිලිබඳ අභිලාෂය ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කොට සිටියේ ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය පිළිබඳව ලන්ඩනයේ දී ප්‍රසිද්ධ දේශනයක් පවත්වමිනි.

 Mangalapic 1සංහිඳියාව සම්බන්ධයෙන් මේතාක් අත් කරගෙන තිබෙන ප්‍රගතිය සම්බන්ධයෙන් සතුට පලකළ අමාත්‍ය මංගල සමරවීර මහතා, ලන්ඩනයේ ජාත්‍යන්තර කටයුතු පිලිබඳ රාජකීය ආයතනයේදී  ප්‍රකාශ කොට සිටියේ යුක්ති විනිශ්චය සඳහා යොදා ගන්නා “වාස්තු විද්‍යාව සහ හැඩතල” තීරණය කිරීම සඳහා මාර්තු මාසයේ ජිනීවා නුවර පැවැත්වෙන ඊළඟ ජගත් මානව හිමිකම් සමුළුවේදී තවත් කල් ඉල්ලා සිටින සිටින බවයි.

 “තාක්ෂණික කල්පමාවක්” ලෙස එය හැඳින්වූ අමාත්‍යවරයා කියා සිටියේ අධිකරණ යාන්ත්‍රණය මේ වසර අගදී පිහිටුවන බවයි.

 මතබේදයට තුඩුදී ඇති අධිකරණ යාන්ත්‍රණය කවරාකාර විය යුතුදැයි රජය තුලද ඒකමතික අදහසක් නැති බව කී අමාත්‍යවරයා, කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇතිවී තිබීම “ශුභාරංචියක්” බව ප්‍රකාශ කළේය.


ජවිපෙත් එකඟයි :

 
“යුද්ධයේ වසර ගණනාවක් තිස්සේ සිදුවූ දේ පිලිබඳ චෝදනා ගැන සොයා බැලීමට අධිකරණ යාන්ත්‍රණයක් අවශ්‍ය බව ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ පවා පවසනවා. දැන් සාකච්ඡාවට ගැනෙන්නේ ජාත්‍යන්තර සහභාගිත්වය කොයි තරමට තිබිය යුතුද යන්නයි.”

 යුද අපරාධ විභාග කිරීමේදී එක් නඩු විභාගයකට අඩුම වශයෙන් එක විනිශ්චයකාරවරයකු හෝ හවුල් කරගත යුතු බවට රජය විසින් පත් කරන ලද සංහිඳියාව උදෙසා වන ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය දුන් නිර්දේශය රජයේ මුල් පෙලේ අමාත්‍යවරුන් විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අතර විදේශීය දායකත්වය ලබාගැනීමේ බලාපොරොත්තුව පලවී ඇත්තේ “තාක්ෂනය සහ උපදෙස්” සඳහා පමණකි.


දේශීය යාන්ත්‍රණයක් :


 කෙසේ වෙතත්, ලැබී ඇති දේශපාලන වරම පරිදි අවසානයේ රජය විසින් පිහිටුවනු ඇත්තේ දේශීය අධිකරණ යාන්ත්‍රණයක් බව අමාත්‍ය මංගල සමරවීර මහතා සහතික කොට කියා සිටියේය.

 “කවර ප්‍රතිවිරුද්ධ මත පැවතියත්, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රකාශනයෙන් පොරොන්දු වී ඇති පරිදි ස්වාධීන සහ විශ්වසනීය දේශීය යාන්ත්‍රණයක් වෙනුවෙන් සියලු දෙනාගේම පැහැදිලි එකඟතාවක් පවතී. ප්‍රජාතන්ත්‍රවාදී සහ ස්වෛරී රජයක් ලෙසින් අපි අදාළ සියලුම පාර්ශව විමසා බලා එවැනි යාන්ත්‍රණයක වාස්තු විද්‍යාව තීරණය කරන්නෙමු,” යි අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

 රජයේ සංහිඳියා වෑයම කඩාකප්පල් කිරීමට “අමනාපයෙන් සිටින දේශපාලකයන් කණ්ඩායමක්” ජාතීන් අතර බේද වපුරමින් සිටින බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා, ලන්ඩනයේ “චැතම් හවුස්” මන්දිරයට රැස්වූ පිරිසට දැනුම් දී සිටියේ මෑතදී අත් අඩංගුවට ගන්නා ලද අන්තවාදී සිංහල තරුණයකුටත්, මුස්ලිම් තරුණයකුටත් මුදලින් ආධාර කර ඇත්තේ එකම කණ්ඩායමක් යැයි විමර්ශන වලදී හෙළි වී ඇති බවයි.

බොබසේ සහ අධිකරණ ඇමැති

පන්දහසකට අධික අත්සන් රැගත් පෙත්සමක් මගින් අත් අඩංගුවට ගන්නා ලෙස කරන ලද ඉල්ලීම පරිදි නීතිමය පියවර නොගෙන අධිකරණ අමාත්‍යවරයා,  බොදුබල සේනා නායකයා සහ අම්පිටියේ සුමන වැනි භික්ෂුන් සමග රාජ්‍ය මට්ටමින් ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් 'රේඩියෝ ගගන' කළ විමසීමකට පිළිතුරු දෙමින් එම එළිදරව්ව කළ විදේශ අමාත්‍යවරයා “ඇමැතිවරයා කී දෙයක් හෝ සාකච්ඡා කළ දෙයක් ගැන අපි දන්නේ නෑ,” යි කියා සිටියේය.

 “ඔබ සඳහන් කළ හාමුදුරුවන් ආණ්ඩුවට අනුව බුද්ධාගමේ හරය නියෝජනය කරන අය නෙවෙයි. මටනම් ඒ අය සිවුරු පොරවාගත් මහත්තුරු විතරයි. ඒත්, අපිත් පිලිගන්නවා ඒ අය සම්බන්ධයෙන් Mangalapic 2වහාම පියවර ගත යුතු බව. මොකද, ප්‍රජාවන් අතර බේද අවුස්සන්න හදන අමනාපයෙන් සිටින දේශපාලකයන් කණ්ඩායමක් ඉන්නවා.”

 සුළුතර ජන කණ්ඩායම් වල සහායෙන් තොරව කිසිවිටෙක බලයට ආ නොහැකි බව දන්නා විපක්ෂයේ පිරිස් උතුරේත්, දකුණේත් බහුතර ඡන්දයෙන් බලයට පත්වූ “එකම නියම ශ්‍රී ලාංකික ජනාධිපති” මෛත්‍රීපාල සිරිසේනගේ රජය අස්ථාවර කිරීමට ජාතීන් අතර බේද ඇතිකරන බවට අමාත්‍යවරයා අනතුරු ඇඟවීය.

 ඔවුන්ට එරෙහිව පියවර ගැනීම සඳහා ජාතීන් අතර වෛරය වැපිරීමට විරුද්ධ නව නීති ගෙන එන බව විදේශ අමාත්‍යවරයා කියා සිටියේය.


කැලම් මැක්රේට ආරාධනා

 
ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ ආකාරය දැක්වෙන ‘නෝ ෆයර් සෝන්’ වාර්තා චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමේ රජයේ අපේක්ෂාවක් ඇතිදැයි එහි අධ්‍යක්ෂ කැලම් මැක්රේ කළ විමසීමකට පිළිතුරු දෙමින් විදේශ අමාත්‍යවරයා කියා සිටියේ තවම ඊට කල් වැඩි බවයි.

 කෙසේ වෙතත්, පසුගිය පාලන සමයේ විඳි හිරිහැර නොලබා ශ්‍රී ලංකාවේ නිදහසේ ඇවිද බලන්නට පැමිණෙන මෙන් සමරවීර අමාත්‍යවරයා මාධ්‍යවේදී මැක්රේට විවෘත ආරාධනයක් ද කළේය.

 පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව 2013 රාජපක්ෂ පාලන සමයේ පැවැත්වෙද්දී උතුර බලා යමින් සිටි චැනල් 4 බ්‍රිතාන්‍ය නාලිකාවේ ජොනතන් මිලර් සහ කැලම් මැක්රේ ගමන් කළ දුම්රිය බලහත්කාරයෙන් හරස් කළ ආණ්ඩුවේ දේශපාලකයන් ගේ නායකත්වයෙන් යුත් පිරිසක් විසින් මාධ්‍යවේදීන් දෙදෙනා අනුරාධපුරයෙන් ආපසු හරවා එවන ලදී.

 විදේශ අමාත්‍යවරයාගේ ආරාධනය ගැන මහත් සතුට පල කළ මාධ්‍යවේදී මැක්රේ කියා සිටියේ සිංහලෙන්ද හඬකවා ඇති ‘නෝ ෆයර් සෝන්’ ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනය කිරීමට මෙතරම් සුදුසු කාලයක් මින් පෙර උදාවී නැති බවයි.

 “මගේ චිත්‍රපටිය රාජ්‍ය රූපවාහිනියේ පෙන්වන්නට ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවෙන්, ශ්‍රී ලංකාවට ඇවිත් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ සංවාදයකට සහභාගි වන්නට මම ඉතාම කැමතියි,” යනුවෙන් කැලම් මැක්රේ 'රේඩියෝ ගගන' හා කියා සිටියේය.

 
ඩයස්පෝරා

 Mangalapic 4ශ්‍රී ලංකාවේ සංහිඳියා ක්‍රියාදාමය වෙනුවෙන්  විදේශගත දෙමළ කණ්ඩායම් වලට කළ හැකි වැදගත් කාර්යභාරයක් ඇතැයි කී අමාත්‍ය මංගල සමරවීර මහතා, ජනපති, අගමැති හා තමන් ඩයස්පෝරා කණ්ඩායම් සමග සාකච්ඡා කොට ඇති බවද හෙළි කළේය.

 සංහිඳියාවට මුල පිරීම බ්‍රිතාන්‍යයෙන් ද සිදුකළ හැකි බවට සුබවාදී අදහසක් පලකළ සමරවීර අමාත්‍යවරයා, එරට සිංහල ඩයස්පෝරා කණ්ඩායම් වෙනත් ශ්‍රී ලාංකික ජන කණ්ඩායම් සමග කිසිදු සම්බන්ධයක් වුව නොපවත්වන බව පෙන්වා දුන්නේය.

 ඒ දුරස්වීම මගහැරවීම සඳහා අනාගතයේදී බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය විසින් පවත්වනු ලබන රාජ්‍ය උත්සව සඳහා සෑම ඩයස්පෝරා කණ්ඩායමකටම ආරාධනා කරන ලෙස උපදෙස් දී ඇති බවත් ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර වැඩිදුරටත් කියා සිටියේය.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top