nsb

Jan 14, 2017

'GSP+ දීමට පෙර විරෝධතා සඳහා කාලයක්' -අගමැති

මහින්ද රාජපක්ෂ පාලන සමයේ පනවන ලදුව හත් වසරක් තිස්සේ ක්‍රියාත්මක කෙරුනු GSP+ වරණීය බදු සහන තහංචිය ඉවත් කිරීමට යුරෝපා කොමිසම නිර්දේශ කර ඇති අතර එයට විරෝධතා ඉදිරිපත් කිරීමට සහ ඒ පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීමට මාස දෙකක කාලයක් තිබෙන බැවින් අප්‍රේල් – මැයි මාස වන විට යුරෝපයේ අලූත් වෙළෙඳපොළට පිවිසීමට ශ්‍රී ලංකාවට හැකිවෙතැයි අග්‍රාමාත්‍යවරයා විශ්වාසය පල කරයි.

ගාල්ල, කරාපිටිය සුනන්දාරාම පුරාණ විහාරයේ චෛත්‍ය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (12) මේ බව ප්‍රකාශ කළේය.

GSP+ බදු සහනය නිර්දේශ කරමින් යුරෝපා කොමිසම දැනුම් දී තිබුනේ විරෝධතා ගොනු කිරීමට මාස හතරක කාලයක් ඇති බවයි.

තමන් අගමැතිවරයා ලෙස 2003 – 2005 කාලයේත් චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය ලෙසත් යුරෝපා සංගමය සමග සාකච්ඡා කරමින් යුරෝපීය වෙළෙඳපොළට රටේ ඕනෑම භාණ්ඩයක් අපනයනය කිරීම සඳහා ජී.එස්.පී. ප්ලස් බදු සහනය ලබාදෙන ලෙස ඉල්ලා සිටි බව අගමැතිවරයා පැවසිය.


ප්‍රජාතන්ත්‍රවාදය හා බදු සහන :

my311
ජී.එස්.පී. ප්ලස් සහනය හිමි වන්නේ කාරණා දෙකක් මත බව පවසන අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, පෙන්වා දෙන්නේ පාරිසරික දියුණුවත් සමග සාමාජීය දියුණුව ඇති කරමින් කාන්තාවන්ට, දරුවන්ට හොදින් සලකන, නීතිය ක්‍රියාත්මක වන, ප්‍රජාතන්ත්‍රීය රාමුවක් ක්‍රියාත්මක වනවා නම් ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගත හැකි බවයි.

යුරෝපා සංගමය සිය වෙළෙඳපොළට ඇතුලූ වීමට ඉඩ ලබා දෙන්නේ එම කරුණු ක්‍රියාත්මක කරන රටවල්වලට පමණක් වන අතර එම ප්‍රජාතන්ත්‍රීය ක්‍රියාවලිය ස්ථාපිත කිරීමට තමන් කටයුතු කළ බව ඔහු පවසයි.


විශ්මයජනක නඩු තීන්දු :


නමුත් අවාසනාවකට, ජාත්‍යන්තර සිවිල් හා දේශපාලන ප්‍රඥප්තිය ශ්‍රී ලංකාවට බලනොපාන බවට අප රටේ ශ්‍රේෂ්ඨාධිකරණය විශ්මය දනවන තීන්දුවක් ලබා දුන් අතර එය සිදුවූයේ ජේ.ආර්. ජයවර්ධන සහ චන්ද්‍රිකා කුමාරතුංග යන ජනපති දෙපලම ඊට අත්සන් තබා තිබියදී බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

එය පාර්ලිමේන්තුව වෙත ගෙන ගොස් වෙනස් කරමු යැයි එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෙන් ඉල්ලා සිටියමුත් එය සිදු නොවු අතර ඉන් අනතුරුව අපේ රටේ පරිසර දූෂණය, කාන්තා හිංසනය, නීතියේ කඩා වැටීම, මාධ්‍ය මර්දනය ආදිය නිසා ජී.එස්.පී. ප්ලස් තීරුබදු සහන අපට අහිමි වු අතර ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබා ගැනීමට සම්පූර්ණය සහයෝගය ලබාදෙන බව පැවසුව ද එය සිදු නොවු බව ඔහු පවසයි.

2015 ජනාධිපතිවරණයේ දී පොදු අපේක්‍ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කරමින් නැවතත් යුරෝපා වෙළෙඳපොළට භාණ්ඩ යැවීම සඳහා ජී.එස්.පී. ප්ලස් සහනය ලබා ගන්නා බවට පොරොන්දුවක් ලබා දුන් අතර යුරෝපා වෙළෙඳපොළට ඇතුලූ වීමට හැකියාවක් නොමැති නම් රැකියා දස ලක්‍ෂය පිළිබඳව සිතීමටවත් නොහැකි බැවින් ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගැනීමට කඩිනමින් පියවර ගත් බව රනිල් වික්‍රමසිංහ මහතා සදහන් කළේය.


මත්ස්‍ය තහනම :

prime1
රටේ ධීවර මත්ස්‍ය අපනයන යුරෝපා සංගමය විසින් ප්‍රතික්ෂේප කොට තිබු අතර නව ආණ්ඩුව යටතේ ගනු ලැබූ පියවර නිසා 2015 වසරේදීම සාකච්ඡා මාර්ගයෙන් එම තහනම ඉවත් කර ගැනීමට තමාට හැකි වු බවද අගමැතිවරයා එහිදී පැවසීය.

 ඉන් අනතුරුව ජාතික ආණ්ඩුව යටතේ ප්‍රජාතන්ත්‍රවාදී වගකීම් ඉටු කිරීමට පියවර ගත් අතර කාන්තාවන්ට සම අයිතිවාසිකම් ලබාදීම, කාන්තා හිංසනය පිළිබඳ නීති සංශෝධනය, ළමා සුබසිද්ධිය ඇති කිරීමට පියවර ගණනාවක් ගනු ලැබු බව අගමැතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැරිසියේ පැවැති ගෝලීය උණුසුම පිළිබඳ සම්මේලනයට දෙවරක් සහභාගි වී එහි කොන්දේසිවලට අත්සන් තැබු අතර ඒ හරහා පරිසරය ආරක්‍ෂා කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේය.

 යුරෝපීය සංගමයට අයත් සියලූ රවටල් සමග සාකච්ඡා කරමින් සහයෝගය ලබා ගැනීමට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ක්‍රියා කළ අතර ඒ කටයුතු සඳහා වසරක පමණ කාලයක් ගත වු බවද අගමැතිවරයා ආවර්ජනය කළේය.

ජිනීවා චෝදනා :


ඒ සමගම ජිනීවාහි මානව හිමිකම් සමුළුවේ දී රටට එරෙහිව එල්ල වූ චෝදනා වාසි සහගත ආකාරයට පරිවර්තනය කර ගැනීමටත් සහ ඒ සඳහා යෝජනාවන් ලබාදීමටත් ශ්‍රී ලංකාවට හැකි වු අතර මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා ජනාධිපතිතුමා විටින් විට ජර්මනියේ ඇන්ජලා මර්කල් චාන්සලර්වරිය ද, ප්‍රංශයේ ජනාධිපතිවරයා, එංගලන්තයේ එවක අගමැති ඩේවිඩ් කැමරන් වැනි ලෝක නායකයන් හමුවී සාකච්ඡා කළ බවද අගමැතිවරයා කරාපිටිය සුනන්දාරාම පුරාණ විහාරයේ චෛත්‍ය විවෘත කිරීමේ උත්සවයට සහභාගි සදහන් කළේය.

ඒ අතරවාරයේ නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා හමුවී සාකච්ඡා කිරීමට තමාට හැකියාව ලැබුණ අතර අවසානයේ තමා ඇතුලූ කණ්ඩායමක් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරට ගොස් ජී.එස්.පී. ප්ලස් තීරු බදු සහනය පිළිබඳ අවසාන වශයෙන් සාකච්ඡා පැවැත්වු බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

ප්‍රජාතන්ත්‍රවාදී රාමුව යටතේ පියවර ගන්නේ නම් ජී.එස්.පී. ප්ලස් සහනය ලබාදෙන බව ඔවුන් පැවසු අතර ඒ අනුව එහි අවසන් පියවර ඉකුත් සතියේ දී ගනු ලැබු අතර ඒ ජාතික මානව හිමිකම් රාමුව ඉදිරිපත් කර එය ක්‍රියාත්මක කිරීම නිසා බව රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

(radiogagana)


සබැඳි පුවත් :

'GSP+ ලැබුණේ කිසිදු කොන්දේසියක්‌ නැතුවයි' - මුදල් ඇමැති

GSP+ සහන නැවතත් - මානව හිමිකම් රැකුමට රජය එකඟයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top