nsb

Jan 14, 2017

මද වේගයෙන් ලංකාව නව ඇරඹුමකට යන බව මංගල එංගලන්තෙදී කියයි

ගතවූ දෙවසරක කාලය තුළ ශ්‍රී ලංකාව අධිකාරී බලයක සිට අයිතීන් මත පදනම් වූ ප්‍රජාතන්ත්‍රවාදයක් හා ස්ථාවර ආයතන හා වටිනාකමින් යුත් රටක් බවට පරිවර්තනය වීමේ ලා සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා කියයි.
 
ඔහු මේ බව කියා සිටියේ ලන්ඩනයේ ජාත්යන්තර සබඳතා පිළිබඳ රාජකීය ආයතනයේදීය.
 
එහිදී ඒ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.
 
Mangalapic 1නව වසරේ චැතම් නිවසේ දී ඔබ අමතන  ප්‍රථම කථිකයන් අතුරින් එක් අයෙකු වීමට අද දින මා ලැබූ අවස්ථාව ඉමහත් ගෞරවයක් කොට සලකමි. එමෙන්ම, “ප්රොස්පෙක්ට් සඟරාව” මගින් වසරේ “චින්තන ගබඩාව” ලෙස විරුදාවලි  ලබමින් ඔබගේ කටයුතු විශිෂ්ඨ විශ්වාසනීයත්වයේ විශිෂ්ඨත්වයට සහ එය දැනුමේ හා වෘත්තීයමයභාවයේ ස්වර්ණමය  තත්වයට එලැඹ ඇති බවට ලද ප්‍රශංසාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ රාජකීය ආයතනයේ ඔබ සැමට මාගේ හදපිරි සුභාෂිංශන පිරිනැමීමට ද මෙය අවස්ථාවක් කරගනිමි. 
 
අද දින මාගේ මාතෘකාව වන “ශ්‍රී ලංකාවේ සංහිදියා  ක්‍රියාවලිය” මෙම සතියේ දී ශ්‍රී ලාංකිකයන් වන අපට විශේෂ වැදගත්කමක් ඇති මාතෘකාවක් වේ. එයට හේතුව, අමාත්‍ය මණ්ඩලය විසින් ජනවාරි 8 සිට 14 වන දින දක්වා සතිය “ජාතික ඒකාබද්ධතා හා සංහිදියා සතිය” වශයෙන් මෑතදී නම් කර තිබීමයි. මෙය 2015 ජනවාරි 08 ඓතිහාසික ජනාධිපතිවරණයේ දෙවර්ෂ පූර්ණය සමඟ සමගාමී වන අතර ජාතික ඒකාබද්ධතා හා සංහිදියා සතියක්  ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන පළමු අවස්ථාව ද වේ. 
 
මෙම සැමරුම සනිටුහන් කරමින් ජනවාරි 09 වන දින දිවයිනේ පාසල් හා පාර්ලිමේන්තුව ඇතුළු රාජ්ය ආයතන තුළ ජාතික ඒකාබද්ධතා හා ප්‍රතිසන්ධාන ප්‍රඥාවක් ලබා දෙන ලදි. 
 
අපගේ විවිධත්වයේ සමෘද්ධියට ගරු කරමින්, සාමය, අවබෝධය, අන්යෝන්ය විශ්වාසය හා සහෝදරත්වය පෝෂණය කරමින්  එකිනෙකා හා අත්වැල් බැඳගනිමින් විවිධත්වය තුළ එක්සත් වූ  ශ්‍රී ලංකාවක් බිහිකිරීමට අප එකමුතුව කටයුතු කරමු.
 
මාගේ පූර්වගාමීන් බොහෝ දෙනෙක් ද චැතම් නිවසේ දී මෙලෙස කථා පවත්වා ඇත. 1998 දී මෙහිදී මෙලෙසින් ම  ශ්‍රී ලංකාව ඇතුළු ප්‍රජාතාන්ත්රික රටවල් රැසක් විසින් මුහුණ පා සිටින අනතුර පිළිබඳ ව ලක්ෂ්මන් කදිර්ගාමර් මහතා කථා කළේය.
 
ඉන් වසර 20කට පසු වෙඩි හඩින් හා බෝම්බ හඩින් තොරවූ සාමකාමී රටක් නියෝජනය කරමින් මෙම කථාව ඉදිරිපත් කිරීමට ලැබීම ප්‍රතියට හේතුවන කාරණයකි.
 
2009 මැයි මාසයේ දී යුධමය වාතාවරණය අවසන් වූ නමුත් දශක දෙකකට අධික කාලයක් පුරා සිදුවූ සිද්ධීන් වල ඛේදජනක මතකයන් සුවපත් වීමටත්, සංහිදියා හා ජාතික ඒකාබද්ධතාවය ඇති වීමටත්, යුද්ධය හේතුවෙන් පසුබෑමට ලක් වූ ආර්ථික දියුණුව හා සංවර්ධනය යළි ඇරඹීමටත්, නැවත යුද්ධයක් ඇති නොවන බව තහවුරු කිරීමටත්, අප ජාතිය හමුවේ විශාල අභියෝගයක් පවතී. එමෙන්ම පාලනය, ආයතන, නීතියේ ආධිපත්යය වැඩි දියුණු කීරීමේ කාර්යයත්, පුද්ගල අයිතිවාසිකම් ශක්තිමත් කිරීම, ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම සඳහා අවශ්ය පියවර ගැනීමත්, සියළු දෙනාගේ අභිමානය තහවුරු කිරිමත්, අප සමාජයේ අනන්යතාවය සුරකින අතරම ජාතික අනන්යතාවයක් ගොඩ නැගීමත් අප විසින් සම්පූර්ණ කළ යුතුව ඇති කාර්යයන් වේ. 
 
දෙවසකරට පෙර, ජනවාරි 8 වන දින  ශ්‍රී ලාංකේය ජනතාව ඒකාධිපතිවාදය, දූෂණය, හා වෛරී දේශපාලනයට එරෙහිව තම ඡන්දය භාවිතා කළහ. ඔවුන් ඡන්දය පාවිච්චි කළේ ප්‍රජාතන්ත්රවාදය, සංහිදියාව, නීතියේ ආධිපත්යය සහ තිරසාර සංවර්ධනය රජයන  ශ්‍රී  ලංකාවක් සඳහායි.
 
 ශ්‍රී ලාංකිකයන්ගේ මෙම අභිත තීරණය හේතුවෙන් ශ්‍රී  ලාංකේය  දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට ප්රධාන දේශපාලන පක්ෂ දෙක එක්වෙමින්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්රිපාල සිරිසේන මැතිතුමාගේ  ජනාධිපතිත්වයෙන් හා එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යධූරයෙන් යුත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට හැකිවිය. 
 
දින 100 යේ වැඩපිළිවෙල හරහා පොරොන්දු වූ බොහෝ කාර්යයන් සම්පූර්ණ කර ඇති පසුබිමක 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර 19 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම ප්‍රමුඛ කාර්යයක් වේ. අනතුරුව 2015 අගෝස්තු මස දී පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන ලදි. 
 
ඔබ හැමගෙන් බහුතරයක් දන්නා පරිදි, 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්
 
- ජනපතිධූරය සඳහා ඉදිරිපත් වීමේ වාර දෙකේ සීමාව යළි ගෙන එන ලදි. 
 
- ජනපතිධුරයේ රැඳී සිටිය හැකි කාලසීමාව වසර 6 සිට 5 දක්වා අඩු කරන ලදි. 
 
- ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවන ලදි. 
 
- ස්වාධීන කොමිෂන් සභා යළිඇති කරන ලදි. 
 
- තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් බවට පත්කරන ලදි. 
 
- ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාව ප්රවර්ධනය කිරීම, රටේ ජනාධිපතිවරයාගේ වගකීමක් වශයෙන් පිළිගන්නා  ලදි. 
 
එමෙන්ම රජය සතු තවත් කාර්යභාරයක් වූයේ බාහිර ලෝකය සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා යළි ගොඩනැගීම හා අහිමි වූ විශ්වාසනීයත්වය යළි උදාකර ගැනීමට කටයුතු කිරීමයි. 
 
එබැවින් 2015 ජනවාරි මස සිට රජය ජාත්යන්තර ප්‍රජාව හා  ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා යළි තර කරගැනීම සඳහා කටයුතු  අරඹන ලදි. 
 
පාර්ලිමේන්තුවේ බලතල ශක්තිමත් කරන ලද අතර ප්‍රධාන කමිටු කිහිපයකම විපක්ෂයේ  සාමාජිකයන් මුලසුන හොබවන අධීක්ෂණ කමිටු ස්ථාපිත කරන ලදි. 
 
පසුගිය වසරේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද තොරතුරු දැනගැනීමේ පනත, දැන් ක්‍රියාත්මක වීමේ අධියරට පැමිණ ඇත. 
 
ගතවූ දෙවසරක කාලය තුළ  ශ්‍රී  ලංකාව අධිකාරී බලයක සිට අයිතීන් මත පදනම් වූ ප්‍රජාතන්ත්රවාදයක් හා ස්ථාවර ආයතන හා වටිනාකමින් යුත්  රටක් බවට  පරිවර්තනය වීමේ ලා සැලකිය යුතු ප්‍රගතියක් අත්පත් කරගෙන ඇත. 
 
අප විසින් ඉතා හොඳින් අවබෝධ කරගෙන තිබෙන කාරණයක් නම් අතීතය දෙස හැරී නොබලන සමාජයකට හට ස්ථීරසාර සාමයක් ගොඩනැගා ගැනීම ඉතා අපහසු බවයි. දකුණේ මෙන්ම උතුරේ ද පැවති ප්‍රචණ්ඩත්වයට ශ්‍රී ලංකාව නොයෙක් වර මුහුණ දී ඇත. යුද්ධයේ බිහිසුණු අත්දැකීම් නොලද කිසිවෙකුත් ලංකාවේ නැති තරම්ය. ඛේදජනක මතකයන් පහසුවෙන් සිතින් ගිළිහී නොයයි. නිදහස ලැබූ දා සිට අප සතු අත්දැකීම් වලට අනුව අප උගත් දෙයක් වන්නේ විසඳුම් නොලද දුක් ගැනවිලි හා ඛේදවාචකයන් පරම්පරාවෙන් පරම්පරාවට අත් වී යමින් ප්‍රචණ්ඩත්වයේ චක්‍රයන් මිනිස් සිත් තුළ නිර්මාණය කරන බවයි. 
 
අප රට විසින් අත් කරගත යුතු සහ හැකි පූර්ණ සමාජ ආර්ථික සංවර්ධනය වෙත කෙදිනකවත් අපට ළගා විය නොහැකි වනු ඇතැයි කියා අප වෙත කියා සිටිනුයේ මෙම වැරදි අවබෝධය නිසාය. මෙම දුක්ගැනවිලි සම්බන්ධයෙන් ක්රියා කිරීමට අප අපොහොසත් වුවහොත් අප රට නැවතත් යුද්ධයක් කරා ගමන් කිරීම නොවැළැක්විය හැකිය. අප විසින් 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ගෙන එන ලද යෝජනාවට සම අනුග්‍රහය දක්වන ලද්දේ මෙම සාධාරණ සැකය හේතුවෙනි. එම යෝජනාවේ අන්තර්ගත වන්නේ රජයක් ලෙස අප විසින්ම අපගේ ජනතාව උදෙසා කරන ලද කැපකිරීම් හා “උගත් පාඩම් හා සංහිදියා කොමිසම් වාර්තාව” හා “පරණගම කොමිෂන්  වාර්තාව” සහ ප්‍රවීණයන් විසින් දෙන ලද උපදෙස් මත පදනම්ව අප විසින් මානව හිමිකම් කවුන්සිලය වෙත කරන ලද යෝජනාය. 
 
පසුගිය වසරේ පෙබරවාරී මස තම නිදහස් දින කථාවේ දී ජනාධිපතිතුමන් පැවසු පරිදි රටක් වශයෙන් අතීතය සම්බන්ධයෙන් අවංකව හා සත්‍යවාදීව කටයුතු කළ හැකි වන පරිදි අතීතය පිළිගෙන, එය පසෙකින් තබා නව ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ ලා කටයුතු කරනු වස් එක්සත් ජාතීන්ගේ යෝජනාව ක්‍රියාත්මක කිරීමෙහි ලා ශ්‍රී ලංකාව කැපවී සිටින බවයි. 
 
අතීත සිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් වශයෙන් කටයුතු කිරීමට හා සියලු වින්දිතයන්ගේ දුක් ගැනවිලි සම්බන්ධයෙන් ක්රියා කිරීමට රජය විසින් හදුනාගෙන ඇති පියවර අතරට සත්‍ය සෙවීම, යුක්තිය පසිඳලීම, වන්දි ලබාදීම, හා නැවත යුද්ධය ඇති නොවන බවට තහවුරු කරන ක්‍රියාමාර්ග ඇතුළත් වේ. එහි පළමු පියවර වශයෙන් අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට කාර්යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරන ලදි. මහජන අදහස් විමසීම සඳහා පත්කරන ලද උපදේශක කාර්ය සාධක බලකාය විසින් ඉකුත් ජනවාරි 3 වන දින තම වාර්තාව රජය වෙත පිළිගන්වන ලදුව සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය විසින් සම්බන්ධීකරණය කරනු ලබන ව්‍යායාමයක දී රජයේ ප්‍රවීණයන් විසින් මෙම වාර්තාව අධ්‍යයනය කරමින් සත්ය සෙවීමේ කොමිසමක් හා වන්දි කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමට අවශ්ය සාකච්ඡා පවත්වමින් සිටී. Mangalajiniwa 670px 14 01 17
 
ඔබගෙන් ඇතැමෙක් දෙනා දන්නා පරිදි යෝජිත අධිකරණ යානත්‍රණය තුළ විදේශ විනිසුරුවන්ගේ මැදිහත් වීම පිළිබඳව රජය තුල පවා විවිධ වූ අදහස් හා මති මතාන්තර දරණ පුද්ගලයෝ සිටිති. 
 
කෙසේ වුවත්, විවිධ අදහස් මධ්‍යයේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වූ ආකාරයේ ස්වාධීන හා විශ්වාසනීය දේශීය යාන්ත්‍රණයක අවශ්‍යතාවයක් පවතින බව සියලු දෙනා විසින් පිළිගනු ලැබ ඇත. ඒ අනුව, ප්‍රජාතාන්ත්රික හා ස්වෛරී රාජ්‍යයක් වශයෙන්, සියලු පාර්ශවකරුවන්ගේ උපදෙස් සලකා බලමින් එවන් වූ යාන්ත්‍රණයක් ගොඩනැගීම සඳහා අප ක්‍රියා කරමින් සිටිමු. 
 
අප වෙත පැවරී ඇති විවිධ වූ කාර්යයන් රැසක් අතරේ, මේ වසරේ පටන් එළැඹෙන පස් වසර (2017-2021) සඳහා වන ජාතික මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්මක් සකස්කිරීමේ කාර්යයට ද අපි අත ගසා ඇත්තෙමු. මෙම ක්‍රියාකාරී සැලැසුම් කෙටුම්පත මේ වනවිට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. 
 
ඔබ දන්නා පරිදි, අතුරදන්වූවන් සම්බන්ධ ගැටලුව ශ්‍රී ලංකාව තුළ වසර ගණනාවක් තිස්සේ පවත්නා දැවෙන ප්‍රශ්නයකි. අතුරුදන්වූවන් පිළිබඳ ස්ථීර කාර්යාලයක් පිහිටුවීම සඳහා ගෙන ඇති පියවරට අමතරව බලහත්කාරී අතුරුදන්කිරීමෙන් සියලු පුරවැසියන් ආරක්ෂා කිරීමේ ජාත්‍යන්තර සම්මුතියට ද අපි ඇතුළත් වී සිටිමු. ඒ අනුව, මෙම සම්මුතියේ විධිවිධාන බලාත්මක කිරීමට අවශ්ය නීති පැනවීම සඳහා වන පනත් කෙටුම්පත ද අමාත්ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. 
 
ඔබ දන්නා පරිදි 2015 ජනවාරි මස දීම හවුල් ආණ්ඩුව විසින් ගත් පළමු පියවරක් වනුයේ උතුරේ හා නැගෙනහිර සිවිල් පරිපාලනය යළි ස්ථාපිත කිරීම සඳහා කටයුතු කිරීමයි. එපමණක් නොව අප විසින් තවත් සංකේතාත්මක පියවර රැසක් ද ගෙන ඇත. ඒවා අතරට ජාතික ගීය දමිළ හා සිංහල භාෂා ද්විත්වයෙන්ම ගායනා කිරීම, 2015 පෙබරවාරි මස නිදහස් දින උළෙලේ දී සාම ප්‍රකාශයක් එළි දක්වමින් අප රට යළිත් යුද්ධයකට ගමන් කිරීමට ඉඩ නෙදෙන බවට ජනතාව වෙත පොරොන්දු වීම සහ මෙම සතියෙන් ආරම්භ වී අනතුරුව වාර්ෂිකව ක්‍රියාත්මක වන ජාතික ඒකාබද්ධතා හා සංහිදියා සතියක්  ප්රකාශයට පත්කිරීම යනාදිය ඇතුළත් වේ.
 
යළි යුද්ධයක් ඇති නොවන බවට තහවුරු කිරීමේ වැදගත් පියවරක් වශයෙන් පසුගිය වසරේ දී නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා පාර්ලිමේන්තුව ව්යවස්ථාදායක සභාවක් බවට පත්කරගැනීම සම්බන්ධයෙන් වන යෝජනාවක් ද ඒකමතිකව සම්මත කරගන්නා ලදි. 
 
නව ව්‍යවස්ථාවක් සකස්කිරීමේ මූලික කටයුතු බොහොමයක් දැනට අවසන්ව ඇත.  ශ්‍රී  ලංකා ව්‍යවස්ථා ඉතිහාසයේ පුළුල්ම මහජන අදහස් විමසීම මෙහිදී සිදු විය. පිහිටුවන ලද උප කමිටු 61 දී අවසන් එකඟතාවයකට එළඹීම සඳහා බොහෝ අධ්‍යයනයන්, පිළිඹිඹු කිරීම්, හා සාකච්ඡා පවත්වන ලදි. 
 
මේ මොහොත වනවිට, ජනපතිතුමාගේ පක්ෂය,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ තම අවසන් යෝජනා ඉදිරිපත් කිරීම සඳහා කාලය ඉල්ලා ඇත. ඒ අනුව අතුරු වාර්තාව බොහෝ විට පෙබරවාරි මුල් සතිය තුළ විවාදය සඳහා ව්යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කෙරෙනු ඇත. 
 
සංවර්ධනය සම්බන්ධයෙන් සලකා බැලීමේ දී, ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය සහ සමෘද්ධිය ළගාකරගැනීම උදෙසා ශක්තිමත් පදනමක් සකස් වී ඇත. පළමුව රජය විසින් තමන් භාරගත් සුදු අලියකු වන් ආර්ථිකය සම්බන්ධයෙන් කටයුතු කරමින් ඇත. ණය බර, රාජ්‍ය මූල්ය පීඩනය සහ නාස්තිකාර වියදම් වනාහි එලෙස විසඳීමට ඇති බරපතල ගැටලු කිහිපයකි. 
 
 ශ්‍රී  ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීම සඳහා වන රජයේ වැඩපිළිවෙල මල් පල දරමින් පවතී. කොළඹ ජාත්‍යන්තර මූල්‍ය නගරය, හම්බන්තොට, නැගෙනහිර, කොළඹ හා ත්‍රිකුණාමල වරායන්,  කටුනායක හා පළාලි ගුවන් තොටුපලවල් එම සැලැස්ම තුළ පවත්නා ක්‍රියාකාරී මධ්‍යස්ථාන වේ. 2020 වනවිට, මෙම කේන්ද්‍රස්ථානයක් වීමේ සිහිනය සැබෑ කරගැනීම සඳහා අවශ්ය වන යටිතල පහසුකම්, රෙගුලාසි හා සමාගම් ශ්රී ලංකාව සතු වනු ඇත. 
 
 ශ්‍රී  ලංකාව වෙත මීට පෙරත් මෙවන් වටිනා අවස්ථා බොහොමයක් උදාවී තිබුණි. නිදහස ලැබූ දින සිටම ශ්රී ලංකාව සම්බන්ධයෙන් අනේක විධ  බලාපොරොත්තු පැවතිණ. එදා පටන් දශක ගණනාවක් දක්වාම අප විසින් දියුණූවීමේ අවස්ථාව ලබාගත හැකි හෝ අත්හැරිය හැකි හිනි පෙත්තට පැමිණි අවස්ථා බොහොමයකි. සාමය හා සෞභාග්යය සැම විටකම අප අත පොවන මානයේ පැවතිණි. එහෙත් ඒ  සියලු  අවස්ථාවන් අප අතින් ගිළිහී ගොස් ඇත.
 
එහෙත්, මෙවර බලාපොරොත්තු තබාගැනීම සඳහා හේතුවක් ඇත. ප්‍රචණ්ඩත්වය අවසන් වී ඇත. සැමවිටම එකිනෙකාට එරෙහිව කටයුතු කළ පක්ෂ දෙක දැන් එකමුතු වී ඇත. ජනාධිපතිතුමා, අගමැතිතුමා හා විපක්ෂනායකතුමා යන සියලු දෙනා අද  ශ්‍රී  ලංකාව හමුවේ පවතින්නේ අප විසින් අත් නොහල යුතු අවස්ථාවක් බව හදුනාගත් බුද්ධිමතුන් පිරිසක් වෙති.  එය දශකයේ අවස්ථාව නොව අප මුළු මහත් ජීවිත කාලයේදීම අප ලැබූ අවස්ථාවක් වේ.  ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට එක්සත් ජාතික පක්ෂය,  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය  හා මුස්ලිම් පක්ෂ යන සියල්ල යුද්ධය සඳහා හේතු සාධක වූ කාරණා ගැන සෙවීම සඳහා එක්ව වැඩකිරීමට එකඟව සිටිති. අප අතීතයේ සිදු කළ වැරදි වලින් පාඩම් උගෙන ඇත්තෙමු. ඒ අනුව, නිදහස දිනු අවස්ථාවේ අප ඉදිරියේ පැවති ප්රාර්ථනයන් ඉටුකරගැනීම සඳහා අපි ඇප කැප වී සිටිමු.  
 
බහුසංස්කෘතිකත්වය, විවෘතභාවය හා වෙළඳාම මත පදනම් වූ අතීත ශ්‍රී ලංකාව ඓතිහාසික යුගයේ දිදුලන මැණිකක්ව පැවති බවට අප ඉතිහාසය සාක්ෂි දරයි. අනුරාධපුර හා පොළොන්නරු රාජධානී සියලු ජාතීන්ගේ හා ආගම්වල පුරවැසියන්ට නිවහනක් විය. ඉතිහාසය පුරාවටම විවිධත්වය අගය කිරීම අප රට සම්බන්ධයෙන් පොදු කාරණයක් වූ අතර අප රටේ ශිෂ්ඨාචාරය රෝම, පර්සියානු, ඊජිප්තු, ග්‍රික, ඉන්දියානු, ගිනිකොණදිග ආසියා සහ චීන අදහස් හා පිළිවෙත් වලින් පෝෂණය වී ඇත. අප රට ඉන්දීය සාගර වෙළඳාමේ තම කේන්ද්‍රීය පිහිටීම ගැන සාඩම්බර වූ බාහිර ලෝකය සමඟ විවෘත සබඳකම් පැවැත්වූ රාජ්යයක් විය. 
 
Mangalapic 4ඉතිහාසයේ උගත් පාඩම් හා අවස්ථාවන් අද අපි පැහැදිලිව හඳුනාගෙන ඇත්තෙමු. දඬුවම් නොලැබ බෙරී යාම, ගැටුම්, දූෂණය, අන්තවාදය හා දුප්පත්කම, හා නීතිය, වගවීම, සමානාත්මතාවය, බහු සංස්කෘතිකත්වය, විවෘතභාවය හා වෘත්තීය පාලනය අතර තෝරාගැනීමක් අප හමුවේ ඇත. අප ඉදිරියේ ඇත්තේ ගැටුම්වලට හා දුප්පත්කමට පිටුපා  සාමය හා සෞභාග්යය  තෝරාගැනීමයි. 
 
අද දින උදෑසන බ්‍රසල්ස් හිදී යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාව වෙත GSP+ සහනය ලබාදීම සම්බන්ධයෙන් නිකුත් කළ ප්‍රකාශය වනාහි  ශ්‍රී ලංකාව නිවැරදි මාවතේ ගමන් කරන බව පෙන්වන සාධකයකි. 
 
2015 ජනවාරි මස 8 වන දින සිට වසර දෙකක් ගත වන දින, ජාතික ආණ්ඩුව තමන් විසින් රට වෙනුවෙන් ඉටුකිරීමට නියමිත අරමුණු ඉටුකිරීමෙහි ලා දැඩි කැපවීමකින් සහ අධිෂ්ඨානයකින් සිටී. අප විසින් මීටත් වඩා බරපතල අවස්ථාවන්ට හා සතුරන්ට සාර්ථකව මුහුණ දී ඇත. අප ඉදිරියේ ඇති අභියෝග සුළු පටු නැත. එහෙත්  අධිෂ්ඨානය, සමගිය, ධෛර්යය හා ආධ්‍යාත්මික ශක්තිය අසීරු අභියෝග ජයගැනීම සඳහා අපට අවශ්ය ධෛර්යය ලබාදේ. ඒ අනුව, අප රටේ ජනතාව, විශේෂයෙන්ම අනාගත පරම්පරාව වෙනුවෙන් සාමයෙන් හා සෞභාග්යයෙන් සපිරි රටක් බිහි කිරීමෙහි ලා අපගේ අරමුණු ඉටු කරගැනීමට අපි කැපවී සිටිමු.  
 
එබැවින් මා අශුභවාදීන්ට පවසන්නේ කලින් කලට යම් යම් පසුබෑම් දක්නට ලැබුණත් නැවත ආපසු හැරීමක් නම් අපගෙන් අපේක්ෂා කළ නොහැකි බවයි. 
 
අප නොදැනුවත්භාවය හා අතීතය මත රැඳෙමින් කටයුතු කිරීම නවතා දමමු. අගතිගාමීත්වය, නොදැනුවත්භාවය, හොඳ නරක දෙකටම නැති චින්තනය, අවස්ථාවාදීත්වය යන සියල්ල සහමුලින්ම බැහැර කර අප සියලු  දෙනා එක්වී සෑම කෙනෙකුටම සාමය, යුක්තිය, සමානාත්මතාව, අභිමානය හා නිදහස පවතින සැබවින්ම එක්සත් ප්‍රජාතන්ත්රවාදී, බහු-සංස්කෘතික හා සමෘද්ධිමත්  ශ්‍රී ලංකාවක් බිහිකරමු. 
 
මද වේගයෙන් වුවද, සත්‍ය වශයෙන්ම  ශ්‍රී  ලංකාව නව ඇරඹුමක් කරා පියමනිමින් සිටී. 
 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top