nsb

Jan 14, 2017

මහින්ද අනුප්‍රාප්තිකයකු නම් කිරීමට යයි ! Featured

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තම පවුලේ මීළඟ දේශපාලන අනුප්‍රාප්තිකයා පත් කිරීම සඳහා සූදානමකින් පසුවන බව දැන ගැනීමට තිබේ.

ඒ වෙනුවෙන් පසුගිය දා සිය පවුලේ සාමාජිකයන් කැඳවා තමන් වෙනුවෙන් දේශපාලන අනුප්‍රාප්තිකයකු ඉදිරියේදී ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරත වනු ඇති බව සඳහන් කර ඇත.

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා පවුලේ සාමාජිකයන් හමුවේ මෙම අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන වග නිශ්චිතව සඳහන් කර නොමැත.

පවුලට පිටින් කෙනෙක් !

එහෙත් තමා සමඟ දීර්ඝ කාලයක් කටයුතු කළ තමාට ඉතා සමීප විශ්වාසවන්ත ම අයකු ඉදිරි දේශපාලන නායකත්වය සඳහා පත් කරන බවත්, මේ වන විට පවතින තත්ත්වය අනුව මෙම අනුප්‍රාප්තිකයා ලෙස රාජපක්ෂ පවුලෙන් පිට අයකු පත් කිරීමට තමාට සිදු වනු ඇති බවත් ඔහු අවධාරණය කර ඇත.

ඔහු ඊට හේතුව වශයෙන් පවසා ඇත්තේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන් අතර වන ගැටුම්කාරිත්වය නිසා පවුලේ අයකු නායකත්වයට පත් කිරීමෙන් පවුලේ බෙදී විසිරී යාම සිදු වනු ඇති බවයි.

කෙසේවුවද මෙම නව අනුප්‍රාප්තිකයා පත් කිරීම මහින්ද රාජපක්ෂ මහතා තවත් දෙමසකට කල් දමා ඇත.

මෙම පවුලේ සාකච්ඡාව සඳහා බැසිල් රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගි වී නැත. ඒ ඔවුන් දෙදෙනාම විදේශගත වී සිටින බැවිනි.

ගෝඨා මෛත්‍රීගේ උගුළේ !

කෙසේ නමුත් බැසිල් රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රියතාවයකින් කතා කර නැත.

මෙහි දී බැසිල් රාජපක්ෂ මහතාට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟ සමඟියෙන් කටයුතු කළ නොහැකි බව පවසා ඇති මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ උගුලේ පැටලී සිටීම ගැන කනගාටුවට පත් වන බවත් පවසා ඇත.

චමල් රාජපක්ෂ මහතා ද මේ වන විට වයසින් වැඩිමහලු වීම සහ රාජපක්ෂ පවුලේ පොල් වතු බලා ගැනීමේ කාර්යය ඔහුට පවරා තිබීම නිසා ක්‍රියාකාරීව දේශපාලනයේ යෙදීමට හැකියාවක් නැති බව ද ඔහු පෙන්වා දී තිබේ.

නාමල් රාජපක්ෂ මහතාට තව කල් තිබෙන බවත් ඔහු තවදුරටත් දේශපාලනය ඉගෙනගත යුතු නිසාත් ඔහු ද මීට නුසුදුසු බව මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.

කෙසේ නමුත් රාජපක්ෂ පවුලේ අනෙක් දේශපාලන සාමාජිකයා ශෂීන්ද්‍ර රාජපක්ෂ වන නමුත් ඔහු සම්බන්ධයෙන් කිසිවක් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර නැත.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කරළියට ඒම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනා කැමැත්තකින් පසු නොවන බව මීට පෙර වාර්තා වී තිබිණි.

සැගවුන අමුත්තා ජි.එල්. ?

මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මහින්ද රාජපක්ෂ මහතා බුරුමයේ අවුන්සායි සුකී තම විශ්වාසවන්ත රියැදුරාව රටේ නායකත්වයට පත් කරමින් කටයුතු කරන්නා සේ මහින්ද රාජපක්ෂ මහතා ජී. එල්. පීරිස් මහතාව ඉදිරියට දමාගෙන ඉදිරි දේශපාලන කටයුතු කිරීමට තීන්දු කොට ඇති බවය.

මේ වන විටත් පිහිටුවා තිබෙන පොදු ජන පෙරමුණේ සභාපතිවරයා වන්නේ ද ජී. එල්. පීරිස් මහතාය.

(සත්හඬ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top