nsb

Jan 15, 2017

ජනපති කම්පා කළ පුවතක් මුල්පිටුවේ (වීඩියෝ)

යූරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් සහනය ශ්‍රී ලංකාවට නැවත ලබාදීමට තීරණය කිරීමත් සමග රජයට ලැබෙන කීර්තිය හා ගෞරවය වැළැක්වීමට ඇතැමුන් අශීලාචාර ලෙස කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ගාල්ලේ ඊයේ (14) පැවති 'නිල මෙහෙවන' ජනපති ජනතා සේවයේ සමාප්ති උත්සවයෙන් අනතුරුව පැවති ආගමික සංහිඳියාව තහවුරු කිරීමේ වැඩසටහනට එක්වෙමින්, ඔහු මේ බව කියා සිටියේ සති අන්ත පුවත්පතක පළ වූ මාධ්‍ය වාර්තාවක් ද පදනම් කරගනිමිනි.

“ජී.එස්.පී. ප්ලස් සහනය ප්‍රකාශයට පත් කරාට පස්සෙ පත්තරයක තියෙනවා, යුරෝපා සංගමය ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවට ලබා දුන්නේ මේ රටේ ෆෙඩරල් ක්‍රමයක් ඇති කිරීම සඳහා වූ පොරොන්දුවක් මත කියලා. මේ ආකාරයට මාධ්‍ය නිදහස භාවිතා කිරීම ගැන මම කම්පාවට පත් වෙනවා.

ප්‍රවෘත්තියක් පළ කරන විට රටක් යහමග යවන්න ඕනේ. සමාජයට සත්‍ය දෙන්න ඕනේ. නමුත් ඒ සහනය ලැබිච්ච කමන් එයින් රජයට වෙන කීර්තිය ගෞරවය වලක්වන්න මේ විදිහේ පුවත්පතක මුල් පිටුවේ පළ කරන්නට තරම් මේ රටේ මාධ්‍ය අශීලාචාර වෙලා.” යයි එහිදී ජනාධිපතිවරයා පැවසිය.

රට පෙඩරල් කිරීමට නොවේ :

රජයේ උත්සාහය රට පෙඩරල් කිරීමට, කැඩීමට හෝ බිඳීමට නොව නැවත යුද්ධයක් ඇතිවීම වලක්වා ජාතික සමගිය තහවුරු කිරීම බව අවධාරණය කර සිටියේය.

රට ගොඩනැගීමේ උතුම් පරමාර්ථය උදෙසා සම්මුතිවාදී ආණ්ඩුව යන ගමන ඉදිරියටම යන බව පැවසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ඒ, උතුම් පරමාර්ථය උදෙසා තමන් සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු සම්මුතිවාදී ආණ්ඩුව කැපවී සිටින බව කියා සිටියේය.

ලෝකයේ පිළිගත් ප්‍රබුද්ධ රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාව ලෝකය හමුවට ගෙනයාම වත්මන් රජයේ අරමුණ බව ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ සිදු කෙරෙන විදෙස් ආයෝජන සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් පළ කළ ජනාධිපතිවරයා, මාතෘභූමියේ වටිනාකම මැනවින් හඳුනාගත් රජයක් ලෙස භූමියේ සුරක්ෂිතතාවය හා පෝෂණය වෙනුවෙන් රජය නිරන්තරයෙන් කැපවී සිටින බව මෙහිදී අවධාරණය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top