Jan 15, 2017

සත්‍ය කොමිසමක් : මංගල ලන්ඩනයේ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ යුද්ධයේ සිදුවීම් සම්බන්ධ වගවීම සහ හානි පූරණය සඳහා සත්‍ය හා සංහිඳියා කොමිසමක් පිහිටුවීම සම්බන්ධයෙන් විදේශ අමාත්‍යවරයා පොදුරාජ්‍ය මණ්ඩල මහ ලේකම්වරිය සමග ලන්ඩනයේ සාකච්ඡා පවත්වා තිබේ.

වර්ණභේද වාදය පරාජය කිරීමෙන් පසු දකුණු අප්‍රිකාව විසින් 1994 දී පිහිටුවන ලද එවැනිම කොමිසමකින් වෙනස් වුවද, වෙනත් රටවල අත්දැකීම් වලින් ලබාගත හැකි පල ප්‍රයෝජන පිළිබඳව මංගල සමරවීර අමාත්‍යවරයා අවබෝධ කරගත් බව පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාංශය පවසයි.

“යහපුරුදු බෙදා හදා ගනිමින් දැනුම එකට ගොනු කිරීම වඩාත් අරපිරිමැසුම් සහගත,” බව මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සාමිවරිය පවසා ඇත.

ව්‍යවස්ථා සම්පාදනය :

ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියද ලන්ඩනයේ මාල්බරා මන්දිරයේ පැවති හමුවේදී සාකච්ඡාවට විෂය වී තිබේ.

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට නියමිත අලුත් ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදය කෙටුම්පත් කරද්දී තමන්ගේ විශේෂඥ දායකත්වය ලබා දුන් බව පොදුරාජ්‍ය මණ්ඩල පවසයි.

තම සහාය ලබා දීමේදී සංඛ්‍යාත්මක වශයෙන් අඩු ජන කොට්ඨාස නියෝජනය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන බව සාකච්ඡා සම්බන්ධයෙන් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වෙයි.

“සුළුතර ප්‍රජාවට තමන් නියෝජනය කෙරෙන බව විශේෂයෙන් සහතික කෙරෙන ආකාරයෙන්, ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව නැවත සැකසීමට තාක්ෂණික සහාය ලබා දීම මහත් සතුටින් කරන බව,” මහලේකම්වරිය පවසා තිබේ.

මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් සමග පැවති හමුව ඉතා ප්‍රබෝධජනක ලෙසින් හඳුන්වන මංගල සමරවීර අමාත්‍යවරයා එහිදී වෙළෙඳාම, සෞඛ්‍යය සහ ක්‍රීඩා සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව පවසයි.

(radiogagana)

සබැඳි පුවත් :

මද වේගයෙන් ලංකාව නව ඇරඹුමකට යන බව මංගල එංගලන්තෙදී කියයි

'ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට කල් ඉල්ලනවා' - මංගල (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top