nsb

Jan 15, 2017

ලන්ඩනයේ විසූ ජවිපෙ නායකයකු අභාවප්‍රාප්ත වෙයි

ජනතා විමුක්ති පෙරමුණේ ලණ්ඩන් කමිටුවේ සිටි ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු වන නීතීඥ බර්නාඩ් රන්ජිත් මෙන්ඩිස් මහතා පසුගියදා අභාවප්‍රාප්ත වී තිබේ.

බ්‍රිතාන්‍යයේ ජීවත්වෙමින් කීර්තිමත් බැටිස්ටර්වරයෙකු ලෙස කටයුතු කළ ඔහු ජනතා විමුක්ති පෙරමුණ මුහුණ දුන් අසීරු අවස්ථාවලදී පවා නොසැලී මියයන මොහොත දක්වාම පක්ෂය සමග කටයුතු කළ අයකු බව ජවිපෙ ලන්ඩන් කමිටුව පවසයි.

මියයන විට 77 වෙනි වියෙහි පසුවූ ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ජනවාරි 16 වන සඳුදා උදෑසන 10.30ට Golders Green Crematorium හිදී සිදු කිරීමට නියමිතව ඇත.

මතවාදය වෙනස් නොකල :

නොයෙකුත් දේශපාලන සුළි කුණාටු හමුවේ තම මතවාදය වෙනස් නොකල ඒ මහතා 1950 දශකයේ අග භාගයේ සිට දශක ගණනාවක් ලන්ඩනයේ පදිංචිව සිටි අතර පසුගිය දෙසැම්බර් තිස් වැනිදා (30) සිය දිවියෙන් සමුගත්තේ හදිසි රෝගී තත්වයක් නිසා London St Mary’s රෝහලෙහි ප්‍රතිකාර ගනිමින් සිටියදීය.

ඔහු බ්‍රිතාන්‍යයට පැමිණ නීතිය හදාරා නීතිඥවරයෙකු හා පසු කලෙක බැටිස්ටර්වරයෙකු ලෙසත් කටයුතු කළේය.

London Marylebone හි ප්‍රධාන නිතිඥ සමාගමක් පවත්වාගෙන ගිය ඔහු පසු කලෙක ලංකාවේ සිට පැමිනි නිතිඥවරුන් බොහෝ දෙනෙකුට නීතිමය පුහුණුවීම් සඳහා මෙම ආයතනයේ සහාය ලබා දීමට උපකාරයන් කළේය.

විශේෂයෙන්ම 1989 ජවිපෙවෙත එල්ල වූ මර්දනයත් සමග එක්සත් රාජධානියට පැමිණි නිතිඥයින්ට රැකවරණය සැලසීම හා ඔවුන්ට පුහුණුව ලබාදිම සිදුකරනු ලැබිය.

ගිනි පුපුර :

1960 දශකයේදී රන්ජිත් මෙන්ඩිස් මහතා ඇතුළු පිරිසක් වාමාංශික මතවාදයන්හි සිටි පිරිස් සමග එකතුව ලන්ඩන් ගිනි පුපුර නමින් වාමාංශික සංවිධානයක් පිහිටුවා ගත් අතර පසු කලෙක මෙම සංවිධානය 1971 අප්‍රේල් නැගිටීම සම්බන්ධයෙන් සිරගතව සිටි පිරිස් සමග සම්බන්ධතා පවත්වාගෙන ගොස් තිබේ.

ඉන් පසුව රෝහණ විජේවීර මහතා සිරෙන් නිදහස් වී 1978 වසරේදී ලන්ඩනයට පැමිණ සිදු කළ සකාච්ඡාවකින් පසුව 'ගිනි පුපුර' සංවිධානය ජනතා විමුක්ති පෙරමුණේ ලන්ඩන් ශාඛාව බවට පත් වී තිබේ.

දේශපාලන රැකවරණ :

ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය සමග සම්බන්ධ වී ඒ සදහා ජාත්‍යන්තර සහයෝගය ලබාදීමට මෙකී පිරිස දැඩි කැපකිරීමකින් කටයුතු කළ පිරිසක් වී ඇති අතර 88-89 පක්ෂය මුහුණ දුන් අතිශය දරුණු මර්දනය හමුවේ පක්ෂ සාමාජිකයන් ආරක්ෂා කිරීමටද කටයුතු කර තිබේ.

මර්දනයෙන් ගැලවී ඉතිරි වූ බොහෝ දෙනෙකුට බ්‍රිතාන්‍ය ඇතුළු රටවල්වල දේශපාලන රැකවරණ සැලසීමට රන්ජිත් මහතා කැපවීමෙන් කටයුතු කර ඇත.

(lankatruth)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top