15976 BM WEB BANNER 01
Jan 15, 2017

තෙල් සංස්ථා තාර වංචාවෙන් මිලියන 400ක පාඩුවක් Featured

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තාර අලෙවියේ දී තෝරාගත් ගැනුම්කාර සමාගම් දෙකක් වෙත විශේෂ මිල සහනයක් ලබා දෙමින් සංස්ථාවේ ඉහළ පාලනාධිකාරිය මහා පරිමාණ මූල්‍ය වංචා සිදු කරමින් සිටින බව වාර්තා වෙයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට බිටුමින් ලංකා සහ ඔරුමික්ස් යන සමාගම් දෙක වෙත මෙම විශේෂ සහනය ලබා දීමට සංස්ථාවේ ඉහළ පාලනාධිකාරිය කටයුතු කර ඇත.

එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන ආකාරයට අදාළ සමාගම් වෙතින් ලබා ගත් ලිපි දෙකක් යොදා ගනිමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ පාලනාධිකාරිය මෙම මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවේ නිරතව සිටියි.

විශේෂ මිල සහනයක් :

එහි දී බිටුමින් ලංකා සමාගම තාර බැරල් 40,000 ක් ලබා ගන්නා බවට ලිපියක් එම සමාගමෙන් ලබා ගෙන ඇති අතර ඒ මත පදනම්ව 2015-09-02 වන දා සිට එක් තාර කිලෝවක් එම සමාගමට නිකුත් කර තිබෙන්නේ රුපියල් 46.20ක මුදලකටය.

එහෙත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තාර තොග අලෙවියේ දී සෙසු ගැනුම්කරුවන් වෙත නිකුත් කරන තොග මිල වන්නේ කිලෝවක් රුපියල් 53.00 කි.

අප වෙත ලැබී ඇති තොරතුරුවලට අනුව ඔරුමික්ස් සමාගම වෙතින් ද බැරල් 20,000 ක් ලබා ගන්නා බවට ලිපියක් පාලනාධිකාරිය විසින් ලබා ගෙන ඇති අතර එය පදනම් කරගනිමින් එම සමාගම වෙත තාර තොග කිලෝවක් නිකුත් කරමින් සිටින්නේ රුපියල් 48.50 ක මුදලකටය.

මෙසේ විශේෂ මිල සහනයක් ලබා දීම හේතුවෙන් මේ වන විට එම සමාගම් දෙක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මුතුරාජවෙල ගබඩා භූමියේ සිට සංස්ථා සම්පත් යොදා ගනිමින් අනෙක් ගැනුම්කරුවන් වෙත කිලෝවක් රුපියල් 53.00 බැගින් තාර තොග අලෙවි කරන බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

තාර තොග නිකුත් කිරීම පමා කර :

එසේම අදාළ සමාගම් වෙත මෙම අලෙවි කටයුතු නිදහසේ සිදුකර ගැනීම වෙනුවෙන් සංස්ථා පාලනාධිකාරිය හිතාමතා අනෙක් ගැනුම්කරුවන් වෙත තාර තොග නිකුත් කිරීම පමා කරන බවත් ඒ යටතේ පොළොන්නරුව ප්‍රදේශයේ රුපියල් බිලියන 6ක ව්‍යාපෘතියක් වූ මාර්ග 28ක් සංවර්ධනය කිරීම සඳහා CECB ආයතනය ඇණවුම් කළ තාර තොග නිසි වෙලාවට නිකුත් නොකර අඛණ්ඩව බිටුමින් ලංකා සහ ඔරුමික්ස් යන සමාගම් වෙත තාර තොග නිකුත් කරන්නට සංස්ථා පාලනාධිකාරිය කටයුතු කළ බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෙසේ මිල සහනයක් අදාළ සමාගම් දෙකක් වෙත ලබා දී තිබුණත් ඔවුන් ද ගෙවීම් කටයුතු සිදු කරන්නේ අනෙක් ගැනුම්කරුවන් ගෙවීම් සිදු කරන සතියකට අදාළ තාර තොග වෙනුවෙන් පමණක් වන බවත් මෙසේ සමාගම් දෙකකට පමණක් විශේෂ කොට සලකන ප්‍රතිපත්තිය ප්‍රශ්න කළ සංස්ථාවේ සහකාර කළමනාකරුවකු වූ ටී.ජී. ජයසිංහ නම් නිලධාරියාව කුරුණෑගලට මාරුකර යවා ඔහුගෙන් පලි ගැනීමට පාලනාධිකාරියේ දූෂිත නිලධාරීන් කටයුතු කර ඇති බවත් වාර්තා වෙයි.

තාර ආනයනයේ දී :

මීට අමතරව තාර ආනයනයේ දී ද මෙම ඉහළ පාලනාධිකාරිය කටයුතු කිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 400 කට ආසන්න පාඩුවක් සිදු කර ඇති බව ද වාර්තා වී ඇත.

එය සිදුව තිබෙන්නේ 2014 වසරේ ආණයනය කරන්නට සැපයුම්කරුවකුට ලබා දුන් ඇණවුමක් නිසි ලෙස සපයන්නට අදාළ සැපයුම්කරුවා අසමත් වී ඇති පසුබිමක ඉතිරි තාර තොගය සඳහා 2014 මිලට ම 2015 වසරේ දී ගෙවීම් සිදු කිරීම හේතුවෙන්ය.

එහි දී 2014 මිල ගණන්ම 2015 වසරේ දී ගෙවීමට සංස්ථාව ක්‍රියා කර ඇත්තේ ලෝක වෙළෙඳපොළේ තාර තොග මිල 2014 වසරට සාපේක්ෂව 2015 දී පහළ ගොස් තිබූ පසුබිමකය.

70%ක් ලංකා ඉන්දීය තෙල් සමාගමට:

එල්ල වී ඇති චෝදනා සම්බන්ධව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහළ නිලධාරියකු වෙතින් කළ විමසීමක දී එම නිලධාරියා සඳහන් කර සිටියේ තමන් කිසිදු මූල්‍ය අක්‍රමිකතාවකට සම්බන්ධ නැති බවත් එල්ල වී ඇති චෝදනා සම්බන්ධව ද දැනුවත් භාවයක් නැති බවත්ය.

කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට සංස්ථාවේ ඉහළ පාලනාධිකාරියේ දූෂිත ක්‍රියා හේතුවෙන් මේ වන විට තාර අලෙවිය ආශ්‍රිත වෙළෙඳපොළෙන් 70%ක් පමණ ලංකා ඉන්දීය තෙල් සමාගමට අත්පත් වී ඇති බවය.


(සංජය ලියනගේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top