nsb

Jan 16, 2017

බැඳුම්කර විවාදය : ශ්‍රීලනිපය අර්බුදයක ! Featured

මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳ කෝප් කමිටු වාර්තාව ලබන ජනවාරි 24දා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත අතර එම විවාදය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහභාගිත්වය සම්බන්ධයෙන් මේ වන විට මත ගැටුමක් හට ගෙන තිබේ.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් මෙතෙක් සිදු නොවීමත් කොප් කමිටුව විසින් ඉදිරිපත් කෙරුණු වාර්තාව ද විවාදාත්මකව පැවැතීමත් මත මේ සම්බන්ධයෙන් නිශ්චිත මතයක් ප්‍රකාශ කිරීමේ ගැටලුවට ශ්‍රීලනිපය මුහුණ දී තිබේ.

බැඳුම්කර ගනුදෙනුව වංචාවක් බව පවසමින් එජාපයේ නායකයා වන අගමැතිවරයා ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීම විපක්ෂයේ පිරිස්වලට කළ හැකි නමුදු ශ්‍රීලනිපයට ඒ සිදු කළ නොහැකි බවට  ශ්‍රීලනිප ජ්‍යේෂ්ඨයන් කිහිප දෙනකුගේ අදහස වී තිබේ.

එසේ වුවහොත් ඒ ආණ්ඩුවේ පැවැත්මට ද අහිතකර අන්දමින් බලපැවැත්විය හැකි බව මෙම පිරිස පෙන්වා දී ඇත.


මුල්ම පැමිණිල්ල අමරවිරගෙන් :


එහෙත් තවත් කණ්ඩායමක් පෙන්වා දෙන්නේ බැඳුම්කර ගනුදෙනුවට එරෙහිව මුලින්ම අල්ලස් කොමිසමට පැමිණිලි කළේ එජනිස ලේකම් මහින්ද අමරවීර මහතා විසින් බවත් එසේම ශ්‍රීලනිපයේ මැති ඇමැතිවරුන් ගණනාවක් බැඳුම්කර ගනුදෙනුව වංචාවක් බවටත් වරදකරුවන්ට දඬුවම් පැමිණවීම සිදු කළ යුතු බවටත් මීට පෙර ප්‍රකාශ කර ඇති බැවින් ඒ ස්ථාවරය අනුව මෙම විවාදයට සහභාගි විය යුතු බවය.

මේ තත්ත්ව නිසා මෙම විවාදය  මඟහැරිය යුතු බවට අදහස් දක්වන කණ්ඩායමක් පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම වඩා වැදගත් බැවින් විවාදයට සම්බන්ධ නොවී සිටීම වඩා වැදගත් වනු ඇති බවය.


විවාදය පමා නොකළ යුතුයි - එජාප


මෙම විවාදය සම්බන්ධයෙන් අදහස් දැක්වූ කෝප් කමිටු සාමාජික හා විදුලිබල නියෝජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා මහතා, මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය නොපමාව කළ යුතුය යන ‍ස්ථාවරයේ එක්සත් ජාතික පක්ෂය සිටින බව පැවසීය.

බැඳුම්කර ගනුදෙනු විවාදය කල් දැමීමට හෝ මඟහැරීමට කිසිදු උවමනාවක් එක්සත් ජාතික පක්ෂයට නැති බව නියෝජ්‍ය ඇමැතිවරයා කියා සිටියේය.

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයා බැලීමට විපක්ෂයේ මන්ත්‍රීවරයකු සභාපතීත්වය දරන කෝප් කමිටුවට පවරා ප්‍රජාතන්ත්‍රවාදීව හා විනිවිද භාවයකින් කටයුතු කර ඇති එක්සත් ජාතික පක්ෂය හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊට කිසිසේත් බාධා කිරීම් නොකරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.

පසුගිය ඔක්තෝබර් 28 දින බැඳුම්කර සිද්ධිය පිළිබඳ කෝප් වාර්තාව පාර්ලිමේන්තු‍වට ඉදිරිපත් කිරීමෙන් පසුව නොවැම්බර් 02 දින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නීතිපතිවරයාට යොමුකර ඇති බව පෙන්වාදුන් නියෝජ්‍ය ඇමතිවරයා, දෙසැම්බර් 21 දින අය-වැය විවාදයේදී ද අගමැතිවරයා ඒ පිළිබඳව විවෘතව අදහස් දැක්වූ බව ද කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top