Jan 16, 2017

"ජනතා විශ්වාසය බිඳවැටීම බියකරුයි" - ජාමැකො

ඕනෑම මැතිවරණයක් නියමිත දිනයට නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බව පෙන්වාදෙන ජාතික මැතිවරණ කොමිසම, එහි ප්‍රතිඵලය සර්වජන ඡන්ද බලය කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටීම විය හැකි බවටද අනතුරු අඟවයි.

සර්වජන ඡන්ද බලය කෙරෙහි මහජන විශ්වාසය බිඳවැටීමේ ප්‍රතිඵලය බියකරු බව 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව වටහාගත් බවත් කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ අද (16) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

"බැලට් කියන එක පිළිබඳ විශ්වාසය නැතිවෙලා බුලට් කියන තත්වෙට මහජනයා යොමුවෙන්න පටන් ගත්තා," ඔහු පැවසීය.

තරුණයින්ට සහ කාන්තාවන්ට ඉඩදෙන්න :

මෙරට තරුණයින්ට සහ කාන්තාවන්ට තම අදහස් දැක්වීමට අවශ්‍ය ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතු බව ද මහින්ද දේශප්‍රිය මහතා කියා සිටියේය.

එවිට මැතිවරණයකදී ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නියෝජනයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

මෙරට සුවිශේෂී අවස්ථාවන්වලදී ඉදිරියට පැමිණෙන තරුණ තරුණියන් දේශපාලන නියෝජනයට සහභාගී වීමට මැලිකමක් දැක්වීම දේශපාලන නියෝජනය අවම වීමට හේතුවක් වී ඇති බවද මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පෙන්වා දුන්නේය.

අප්‍රේල් 30 වැනිදාට පෙර බැහැ :

පළාත් පාලන මැතිවරණය එළඹෙන අප්‍රේල් 30 වැනිදාට පෙර පැවැත්විමට නොහැකි බව ද මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයා මෙම මාධ්‍ය හමුවේදී පැවසිය.

කෙසේවුවද, පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා තමන් දැනටමත් ඡන්ද පොල සියල්ල තීරණය කර අවසන් බව සඳහන් කළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, මැතිවරණ සීමා නීර්ණය කමිටුවේ වාර්තාව භාරදීම පමාවීම මැතිවරණ කොමිසමට අදාළ කරුණක් නොවන බවත් පෙන්වා දුන්නේය.

අශෝක පීරිස් කමිටුවේ වාර්තාවට එක් සාමාජිකයකු අත්සන් නොතැබීම හේතුවෙන් එය අමාත්‍යවරයාට භාරදීම පමා වී තිබේ.


සබැඳි පුවත්

සීමා නිර්ණ වාර්තාව: එජාප අත්සන අද නොවේ හෙට !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top