Jan 17, 2017

දුමින්ද හා 5ක්, හිරගෙවල් 3ක් බිඳින මාධ්‍ය කුමන්ත්‍රණය ! Featured

මරණීය දණ්ඩනය නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, දෙමටගොඩ චමින්ද ඇතුළු සිරකරුවන් පස්දෙනකු බන්ධනාගාරයෙන් පලායෑමට සැලසුම් කිරීමක් පිළිබඳව රහස් පොලිසිය විසින් අධිකරණය වෙත කල කරුණු පැහැදිලි කිරීමත් සමඟ, ඒ සම්බන්ධයෙන් වහා රහස් පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදෙන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා වැලිකඩ බන්ධනාගාර අධිකාරිවරයාට ඊයේ (16) නියෝග කළේය.

මීට අමතරව එම සිරකරුවන් රඳවා සිටින මැදිරිවල ප්‍රධාන ජේලර්වරයාටද රහස් පොලිසිය වෙත ප්‍රකාශ ලබාදෙන ලෙසට මෙහිදි නියමවී තිබිණි.

කොළඹ මහාධිකරණ අංක 6 ත්‍රිපුද්ගල මහාධිකරණ නඩු අංක 7781/2015 දරන නඩුවේ සිරකරුවන් වන අනූෂ තුෂාර ද මෙල්, සිරිනායක පතිරනලාගේ චමින්ද රවි ජයනාත්, කොවිල්ලේ ගෙදර දිසානායක මුදියන්සේලාගේ සරත් බණ්ඩාර, සී. එම්. ප්‍රියන්ත ජනක බණ්ඩාර හා අරුමාදුර ලොරන්ස් රෙමෙලෝ දුමින්ද සිල්වා මෙලෙස පලායෑමට සැලසුම් කරන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

විද්‍යුත් මඩක් ?

මෙම සිරකරුවන් බන්ධනාගාරයෙන් පලායාමට සැලසුම් කරන බවට පළමුවෙන්ම වාර්තාකර තිබුණේ එජාපයේ ප්‍රබල ඇමතිවරයකුට අයත් ඉරුදින පුවත්පත විසින් වන අතර ඉන් පසුව එය රජයේ පුවත්පතවන සිළුමිණ ද වාර්තා කර තිබිණි.

පසුව එය සාමාජ ජාල වෙබ් අඩවිය තුළද ප්‍රචාරයට පත්ව තිබිණි.

මෙම සැකකරුවන් ආරක්ෂා කිරීමට යොදාගෙන ඇති ආරක්ෂක ක්‍රමවේදය, සිරකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඥාතීන්ට හා වෙනත් පුද්ගලයන්ට සිරකරුවන් හමුවීමට අවස්ථාව ලබාදීමේදී ගෙන ඇති ආරක්ෂක පියවර පිළිබඳ හා මෙම සිරකරුවන් පලායෑමට උත්සාහ කරන බවට බන්ධනාගාර බුද්ධි අංශය වෙත තොරතුරු ලැබී ඇත්ද? යන්න අනාවරණය කර ගැනීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරිවරයා හා සිරකරුවන් රඳවා සිටින මැදිරි භාර ප්‍රධාන ජේලර්වරයාගෙන් ප්‍රකාශ ලබාගැනීමට 1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව රහස් පොලිසිය අධිකරණයෙන් මෙම ඉල්ලීම කර තිබිණ.

රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. ඒ. එස්. රන්ජිත් මහතා අධිකරණය වෙත කරුණු වාර්තා කළේය.

බන්ධනාගාර තුනක !

මේ සම්බන්ධයෙන් 'ශ්‍රී ලංකා මිරර්' කල සොයා බැලීමකදී වාර්තා වුයේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ තීන්දුවට අනුව මරණීය දණ්ඩනය නියම වූ පස් දෙනා රඳවා ඇත්තේ ස්ථාන තුනක බවයි.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා බරපතල රෝගී තත්වයෙන් යුතුව වැලිකඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව අතර, අනූෂ තුෂාර ද මෙල් හා කොවිල්ලේ ගෙදර දිසානායක මුදියන්සේලාගේ සරත් බණ්ඩාර යන දෙදෙනා වැලිකඩ වැලිකඩ බන්ධනාගාරයේ ද සිරිනායක පතිරනලාගේ චමින්ද රවි ජයනාත් (දෙමටගොඩ චමින්ද) හා සී. එම්. ප්‍රියන්ත ජනක බණ්ඩාර යන දෙදෙනා මහනුවර බන්ධාගාරයේ රඳවා සිටිති.

මෙසේ බන්ධනාගාර තුනක රඳවා සිටින පස් දෙනෙකු එකවර පැන යාමක් සිදුවිය හැකිදැයි බන්ධනාගාර ප්‍රධානියකු ගෙන් විමසු අවස්ථාවේදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පළකර ඇතැයි කියන මාධ්‍ය ආයතනයෙන්ම විමසන ලෙසයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top