nsb

Jan 19, 2017

'ජනපති සමග ඉන්නා අය අතරින්ම විරෝධතා' - බාහු (වීඩියෝ)

ජාතික ප්‍රශ්නය සඳහා කල් පවත්නා විසඳුමක් ගෙන එමින් ශ්‍රී ලංකාවේ වෙනසක් ඇති කිරීමට ජනාධිපතිවරයා සමග සිටින බලවේග අතරින්ම විරෝධතා මතුවී ඇතැයි නව සමසමාජ පක්ෂ නායකයා අනතුරු අඟවයි.

හිටපු ජනාධිපතිවරයාට හිතවත් කණ්ඩායම අන්ත ජාතිවාදී වැඩ පිළිවෙලක් ගෙනයමින් සිටියදී, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමග ඉන්නා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් අතරින්ද බලය බෙදීමට සහ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එරෙහිව අදහස් පලවෙමින් තිබෙන බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා පෙන්වා දුන්නේ සිය පක්ෂ කාර්යාලයේ දී මාධ්‍යවේදීන් අමතමිනි.

“මහින්ද රාජපක්ෂ කල්ලිය වෙනමම දරුණුම ජාතිවාදී තැනකම ඉන්න අතරේ, දැනට මෛත්‍රිපාල සිරිසේන එක්ක ඉන්න අය අතරත් තියෙන්නේ මේ අදහස් වලට විරුද්ධ අදහස්,” යැයි නසසප නායකයා පැවසීය.

අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වීමට නියමිතව තිබූ විවාදයටද බාධා පැමිණ ඇත්තේ ශ්‍රීලනිප තුලින් මතුවන එම විරෝධතාව නිසා බව ඔහු පවසා සිටියේය.


චන්ද්‍රිකා “ජාතිවාදයට උඩගෙඩි දුන්නා”


සංහිඳියා කාර්යාංශයේ නායකත්වය දරන හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය බලය බෙදීම ශ්‍රීලනිප ප්‍රතිපත්තිය බව ප්‍රකාශ කළත්, ඇගේ පාලන සමයේ ලද අවස්ථාව අතහැර ජනතා විමුක්ති පෙරමුණ සමග ආණ්ඩුවක් හදමින් “ජාතිවාදයට උඩගෙඩි දුන්” බවට නසසප නායකයා චෝදනා කළේය.

ජාතිවාදී පදනමකින් පාර්ලිමේන්තු ආසන 40ක් ලබා ගැනීමට ජවිපෙ සමත් වූයේ ඒ නිසා බව ඔහු කියා සිටියේය.

“ඒ අනුව මේ රටේ විනාශකාරී ජාතිවාදී බලවේගය ගොඩනගලා දුන්නේ චන්ද්‍රිකා මැතිනිය ඒ අවස්ථාවේ,” යි ආචාර්ය වික්‍රමබාහු මහතා අවධාරණය කළේය.


සංවර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදය ;


ආචාර්ය වික්‍රමබාහු මහතා මෙහිදී තවදුරටත් සිහිපත් කර දුන්නේ ආර්ථික සංවර්ධනය සඳහා විදේශීය සහාය ලැබෙමින් පවතින්නේ ද ආණ්ඩුව පොරොන්දු වී තිබෙන පරිදි රටේ වෙනසක් ඇති කිරීමට බවයි.

යුරෝපා සංගමය GSP+ බදු සහනය ලබා දෙමින් වෙළෙඳපොල විවෘත කර දුන්නේ ජාතික ප්‍රශ්නය විසඳීමට, ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට සහ ව්‍යවස්ථා වෙනසක් සිදු කිරීම සඳහා දෙන ආධාරයක් ලෙසින් බව ඔහු කියා සිටියේය.

විධායක බලය අහෝසි කරමින්, බලය බෙදා,  ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට පියවර නොගන්නේ නම්, රට සංවර්ධනය කළ නොහැකි බවට ආචාර්ය වික්‍රමබාහු මහතා රජයට අනතුරු අඟවා සිටියේය.

(radiogagana)


සබැඳි පුවත් :

නව ව්‍යවස්ථාව : ශ්‍රීලනිප ස්ථාවරය ගැන සුමන්තිරන් විමතියෙන්

“සම්පුර්ණ ව්‍යවස්ථා වෙනසකට ජනවරමක් නැහැ” -එස්.බි.


'මෛත්‍රි යළි ජනාධිපති කිරීමේ අවශ්‍යතාවයක් නැහැ' -රාජිත

සිවිල් සමාජය මෛත්‍රීට එරෙහිවන ලකුණු !

'ජනමත විචාරනයකට ජනවරමක් නැහැ - සංශෝධන පමණයි' - එස්.බි.

'මෛත්‍රීව ජනාධිපති අපේක්ෂක ලෙස නම්කර නැ' - චන්ද්‍රිකා

ජනපතිට සදාචාරාත්මක අයිතියක් නෑ' - එජාප

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top