Jan 19, 2017

ඇමති රාජිතත් රතන හිමිට එක්වීමට යයි

පාර්ලිමේන්තුවේදී ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී  පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉදිරියේදී ආරම්භ කරන බව කියන නව බලවේගයට තමන්ද එක්වන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ (18) ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ කැබිනට් තීරණ දැනුම් දීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “ආණ්ඩුවේ යම් යම් දුර්වලකම් තියෙනවා.. එක දවසින් යහපාලනය හම්බවෙන්නේ නැහැ. එහෙම මෝඩ සිතුවිලිවල අපි හිටියෙත් නැහැ. රතන හිමි හදන සංවිධානය බොහොම හොඳ එකක්. මමත් එනවා ඒකට. අපි දෙන්නා ගැලපෙන්නැති තත්ත්වයක් තිබුණා.. නමුත් ඒවා අයිං කර ගත්තා.” යනුවෙනි.

අවබෝධයක් නොමැති බව :


කෙසේවුවද, කොළඹ පවතින දේශපාලන වාතාවරණය පිළිබඳ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට එතරම් අවබෝධයක් නොමැති බව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා එහිදී පැවසිය.

ඇමතිවරයා ඒ බව කියා සිටියේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීම සඳහා බෙදුම්වාදයට පක්ෂ කණ්ඩායමක් මුල් වී කටයුතු කරන බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමිනි.

මෙහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඇමැතිවරයා ආණ්‌ඩුවේ වැඩපිළිවෙළ ගැන කලකිරී සිටින බවට ප්‍රකාශ කර ඇත්තේ කරුණු හරි හැටි අවබෝධ කර නොගෙන යෑයිද ආණ්‌ඩුව ඉකුත් වසර දෙකේදී විශාල වැඩ කොටසක්‌ සිදු කළ බවද කීය.


ගණන්ගන්න එපා කීවා !


රතන හිමියන්ගේ අදාළ ප්‍රවෘත්ති සාකච්ඡාව පළ වීමෙන් පසුව තමන් උන්වහන්සේ සමඟ පුද්ගලිකව කතා කළ බවත් මාධ්‍යවල ඒ පිළිබඳව පළ වූ ප්‍රවෘත්ති උන්වහන්සේ ප්‍රතික්‌ෂේප කළ බවත් ඇමැතිවරයා පැවසිය.

රතන හිමියන් ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව ස්‌වාධීන වූයේ මීට කලකට පෙර බවත් මාධ්‍යවල පළ වන වාර්තා ගණන් නොගන්නා ලෙස උන්වහන්සේ තමාගෙන් ඉල්ලා සිටි බවත් මෙම මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා කියා සිටියේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top