nsb

Jan 19, 2017

'දක්ෂිණාංශික බලවේග නිසා මෛත්‍රී අසරණවෙලා' - දයාන් Featured

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හැකියාවන් සේම විනයක් සහිත අයෙකු බවත් තමන් විරුද්ධ වූයේ ජනාධිපතිවරයා නියෝජනය කළ සන්ධානයට මිස ජනාධිපතිවරයාට නොවන බවත් ආචාර්ය දයාන් ජයතිලක මහතා පවසයි.

ජනාධිපතිවරයාගේ සහභාගිත්වයෙන් පෙරේදා (17) සවස හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැති HE FORUM සංවාදශීලි වැඩසටහනට සහභාගි වෙමින් ඔහු එබව පැවසිය.

ජනාධිපතිවරයා ඉදිරියේ තවදුරටත් අදහස් දක්වමින් දයාන් ජයතිලක මහතා මෙසේ ද පැවසීය.

'' රටේ ප්‍රතිපත්තිමය වෙනසක් සිදුවිය යුතුයි. නමුත් ඒක කරන්න බැරිවෙන්නේ ඔබතුමා නිසා නෙමෙයි. ඔබතුමාට ඒක කරන්න බැරිවෙන්නේ සංයුක්ත වශයෙන් ඔබතුමා සන්ධානගතවෙලා සිටින බලවේග නිසා. මෙතනදි මම පුද්ගල බද්ධව කතාකරන්නේ නැහැ.

අපි සමකාලීන ඉතිහාසයේ දරුණුම අභියෝගයකට මුහුණදුන්නා. මහින්ද රාජපක්ෂ, සරත් ෆොන්සේකා, ගෝටාභය, මෛත්‍රීපාල සිරිසේන වැනි චරිත ඒ අභියෝගය ජයග්‍රහණය කළා. නමුත් ඒ අභියෝගය හමුවේ අසාර්ථ වූ චරිත දෙකක් (බලවේග දෙකක්) සමග සන්ධානගත වුනාම යන්න වෙන්නේ අර ගොර්චොප් ගිය ගමන මිසක යායුතු ගමන වූ දොන්ග් ෂෝපිංග් (Deng Xiaoping) ගිය ගමන නෙමෙයි.

මාවත් දෙකක් ?

ගොර්බචොප් බලයට පත් වුණාම ඒ සමාජ ක්‍රමයට යම්කිසි වෙනසක් අවශ්‍ය වී තිබුණා. නමුත් දක්ෂිණාංශික බලවේග නිසා ඒ වෙනස කරන්න බැරි වුණා. ඒ වෙනස කරන්න ගිහිල්ලා අන්තිමට විශාල කඩාවැටීමක් සිදු වුණා.

චීනයේ දොන්ග් ෂොපිංග් කාලේ මාවෝ සේතුං ගේ ශක්තීන් සහා ජයග්‍රහණ ආරක්ශා කරමින් කරන්න අවශ්‍ය වූ නවීකරණ සහ ප්‍රතිසංස්කරණ සිදු කළා. මෙන්න මේ කියන මාවත් දෙකම තියෙනවා.

මේ ගමන යන්න ඔබතුමාට බැරි වෙන්නේ ඔබතුමා නිසා නෙමෙයි. ඔබතුමාට හැකියාවන් සහ විනයක් තියෙනවා. නමුත් මේ සංයුක්ත සන්ධානය නිසා ඒ ගමන යන්න බැහැ.

වෙනසක් අවශ්‍යයි .. එත් ..?

මම එදත් ප්‍රසිද්ධියේ කිව්වා වෙනසක් කරන්න අවශ්‍ය බව. නමුත් එදා තිබුණ තෝරාගැනීම් දෙක අතරින් මේ සන්ධානයේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් මට විශ්වාසයක් තිබුණේ නෑ.

අතීතයේ අසාර්ථ වූ චරිත දෙකක් සමග මුහු වූ සන්ධානයක් නිසා මම ඒ වෙලාවේ මහින්දට ඡන්දය දෙන්න කියලා කිව්වා. එහෙම කියලා මම කිව්වේ කළ යුතු වෙනස පාර්ලිමේන්තු මැතිවරණයේදී කරන්න කියලා. මම කිසි විටකත් වෙනසක් කරන්න එපා කියලා කිව්වේ නෑ.

මහින්ද රාජපක්ෂ වටා යම්කිසි පවුල් වාදයක් ගොඩනැඟී තිබුණා. සාමකාමී සමාජයක දේශපාලන උපරි ව්‍යුහයට දැඩි ආරක්ෂිත දේශපාලන ආකෘතියක් ක්‍රියාත්මක වුණා. එය වෙනස් විය යුතුව තිබුණා.

නමුත් ඒ වෙනස මේ ජනාධිපතිවරණයේදී නොකළ යුතුයි කියලා මම කිව්වා. මම එදා කථා කළේ මෛත්‍රීපාල සිරිසේන කියන අපේක්ෂකයාට නෙමෙයි, ඒ ගොඩනැඟී තිබුණු සන්ධානයට.''

ජනාධිපතිගේ නිහතමානීකම :

ගෙවුණූ වසර දෙක තමා දකින්නේ එක පියවරක් ඉදිරියට තැබූ සහ පියවර කිහිපයක් ආපස්සට තැබූ වසර දෙකක් ලෙස බව ඔහු කියා සිටියේය.

''මම එදා මතයේ මේ මොහොතෙත් ඉන්නවා. මම හිතනවා පසුගිය අවුරුදු දෙකේ සිදුවීම් සමග මම එදා කියපු දේ දිනපතාම සනාථ වෙමින් පවතිනවා'' යයි පැවසු දයාන් ජයතිලක මහතා, මෙවැනි ප්‍රතිපත්තිමය සංවාද මණ්ඩපයකට සහභාගි වන්නට තරම් ජනාධිපතිවරයා තුළ ඇති නිහතමානීකම මේ ආණ්ඩුවේ ඉදිරි පියවර ලෙස තමන් දකිනා බව ද කියා සිටියේය.

HE FORUM සඳහා මහාචාර්ය රොහාන් සමරජීව, මහාචාර්ය සිරිමල් අබේරත්න, අචාර්ය සුරේන් රාඝවන් සහ ආචාර්ය දයාන් ජයතිලක සම්බන්ධ වූ අතර විද්වත් සභාවේ අදහස් ද සංවාදයට හේතු විය.

HE FORUM සංවිධානය කර තිබුනේ HE දේශපාලනික ස`ගරාවේ වර්ෂ පූර්ණය නිමිත්තෙනි.

https://web.facebook.com/sasendradilan.karunarathne/posts/941730645926971?_rdr

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top