Jan 20, 2017

සමරිසි අයිතිය : ශ්‍රී ලංකා - යූඑන්පී අලුත්ම එකගෙයි ගැටුම (වීඩියෝ) Featured

හවුල් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂ දෙකේ අලුත්ම ගැටුම සඳහා සමරිසියන්ගේ (සමලිංගිකයන්) අයිතිවාසිකම් ප්‍රශ්නයක් කරගෙන ඇතැයි ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා කියයි.

ශ්‍රී ලංකාවට බදු සහන සලසා දීම සඳහා රැකිය යුතු මානව හිමිකම් අතරට සමරිසි සබඳතා පවත්වාගෙන යන්නන්ට දඬුවම් නොකරන ලෙස ඉල්ලා සිටී නම්, මෙතෙක් ඒ අයිතියට ඉඩදී සිටි රටක් ලෙස එම ඉල්ලීමට දැන් විරුද්ධ වීම අර්ථ විරහිත බව නව සමසමාජ නායකයා මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේය.

සමරිසි සම්බන්ධතා අපරාධයක් සේ සලකා දඬුවම් නොකරන ලෙසට යුරෝපා සංගමය කරන යෝජනාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ  උපදෙස් අනුව ඉවත් කර දැමූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසා තිබුනි.

ජනාධිපතිවරයාගේ විරෝධය සම්බන්ධයෙන් තමන්ට අවබෝධයක් නැතත්, මේ විරෝධය නැග එන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුලින් බව ආචාර්ය වික්‍රමබාහු මහතා පවසයි.

මෙය “ශ්‍රී ලංකා-යූඑන්පී එකගෙයි ගැටුමක්” බව ඔහු කියා සිටියේය.

අනවශ්‍ය ප්‍රශ්න ඇතිකිරීමක් :
“මේක තවත් හේතුවක්ද ශ්‍රී ලංකා එකයි යූ එන පී එකයි සටන් කරන්න කියලත් මෙතන ප්‍රශ්නයක් එනවා,” යි කී නසසප නායකයා පවසන්නේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සමීප වී සිටින “මහා පඬිවරු රැලක්” කාමය පිළිබඳව බුද්ධාගමේ එන ඉගැන්වීම් සම්බන්ධයෙන් අසත්‍ය මත ප්‍රචාරය කිරීම මීට හේතුවක් වී ඇති බවයි.

පෞද්ගලික වශයෙන් පවත්වන වැඩිහිටි ලිංගික ආශ්‍රය ශ්‍රී ලංකාව මෙතෙක් කල් ඉවසා සිටි ආකාරයෙන්ම ඉන්නා ලෙස ඉල්ලා සිටි ආචාර්ය බාහු මහතා කියා සිටියේ විරෝධය “අනවශ්‍ය ප්‍රශ්න ඇතිකිරීමක්” බවයි.

සමකාමීත්වය පමණක් නොව විෂම ලිංගිකත්වය පවා එළිපිට ප්‍රදර්ශනය කිරීමට ඉඩ නැති ශ්‍රී ලංකාවේ වැඩිහිටි දෙදෙනකු කවරාකාර හෝ ආදරයක් පවත්වාගෙන යාමේ දී හිරිහැරයක් නැති බව ඔහු කියා සිටියේය.

“පාරේ නට නටා”
සමරිසි ඇසුරක් පවත්වාගෙන යන්නවුන්ට එරෙහිව වර්තමානයේ අධිකරණ ක්‍රියාමාර්ග ගෙන නොමැති වීමද ශ්‍රී ලංකාව සමලිංගික ඇසුරට විරෝධයක් නැති බව විදහා දැක්වෙන සාධකයක් සේ ඔහු පෙන්වා දෙයි.

“නට නටා පාරේදී ලිංගික ආශ්‍රය කරන්න බෑ නේ. එහෙම කරන්න කාටවත් අවසරයක් නෑ මේ රටේ,” යි කී ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා, රටේ පාලකයන්ගෙන් ඉල්ලා සිටියේ සමකාමීන්ගේ සබඳතා වරදක් කොට දඬුවම් පැමිණවීමට එරෙහි ප්‍රඥප්තියට අත්සන් නොකර හිඳීමට රජයට කිසිදු නිදහසට කරුණක් නැති බවයි.

“මේක මානව අයිතියක් හැටියට පිළිගැනීමට කිසිම ප්‍රශ්නයක් නෑ,” යි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණ සමලිංගිකත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ එරෙහි වීම සමරිසි සංවිධාන වල විරෝධයට ලක් වී තිබුනි.


සුසිල් සහ චම්පික ජනපති උසිගන්වයි :
යුරෝපා සංගමය විසින් ලබාදීමට නියමිත GSP+ (Genaralised Scheme of Preferences) සහන සඳහා ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත්කල යුතුව ඇති මානව හිමිකම් ක්‍රියාකාරී සැලැස්ම (National action plan for the protection and promotion of human rights 2017-2021) වැඩබලන විදේශ අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා විසින් පසුගිය අඟහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කල අවස්ථාවේදී , එහි සඳහන් ලිංගිකත්වය සම්බන්ධයෙන් ඉංග්‍රීසි යුගයේ පනවනු ලැබූ 'වික්ටෝරියානු සදාචාරයේ' පීඩාකාරී නීති අහෝසි කිරීම සඳහා ගෙන එනු ලැබූ යෝජනාවට එරෙහිව දැඩි ලෙස කරුණු දක්වා ඇත්තේ ජාතික හෙළ උරුමයේ මහ ලේකම්, අමාත්‍ය පාඨලී චම්පික රණවක  සහ ශ්‍රීලනිප අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් බව 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තාවේ. 

එම විරෝධය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා එම යෝජනාව ඉවත් කිරීමට උපදෙස් දී තිබේ. 

කෙසේවුවද සම ලිංගිකත්වය නීති ගත කල යුතු බවට එම යෝජනාවේ කිසිඳු තැනක සඳහන් නොවේ.

(මූලාශ්‍රය - radiogagana)


සබැඳි පුවත්:

සංහිඳියාව විෂම ලිංගිකයන්ට පමණද? – භූමි හරේන්ද්‍රන්

'GSP+ : යුරෝපා සංගමයෙන් අනතුරු ඇඟවීමක් 

'සුද්දා තහනම් කරපු සමලිංගිකත්වය දැන් අපේ උරුමය වෙලා'

සතුන් සමඟ ලිංගිකව එක්වීමට දෙනවදැයි සුජීව විමසලා

'ජනාධිපති සමලිංගිකත්වයට විරුද්ධයි' (වීඩියෝ)

යහපාලනයත් 'වික්ටෝරියානු සදාචාරය' රැකගැනීමේ සටනක !

'GSP+ දීමට පෙර විරෝධතා සඳහා කාලයක්' -අගමැති 
 
'GSP+ ලැබුණේ කිසිදු කොන්දේසියක්‌ නැතුවයි' - මුදල් ඇමැති 

GSP+ සහන නැවතත් - මානව හිමිකම් රැකුමට රජය එකඟයි  

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top