Jan 20, 2017

'ප්ලග් ගැලවීමේ සංස්කෘතියෙන් මිදුණා' - රොහාන් සමරජීව Featured

පෙර පැවැති ප්ලග් ගැලවීමේ මුග්ද සංස්කෘතික චින්තනයෙන් ජනතාව මුදවා ගැනීමට මීට වඩා හොඳ සන්නිවේදනයක් අවශ්‍ය බවත්, මේ රටේ ප්‍රශ්න විසඳීමට නම් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විදෙස් රටවල සංචාරය කරමින් ඔවුන් සමඟ සහයෝගී වැඩපිළිවෙලකට යායුතු බවත් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.

පසුගිය 17 දා කොළඹ හිල්ටන් හෝටලයේ පැවති HE FORUM සංවාදශීලී දේශපාලන වැඩසහනට එක්වෙමින් ඔහු එබව සඳහන් කළේය.

තව දුරටත් අදහස් දක්වමින් මහාචාර්යවරයා පෙන්වා දුන්නේ, පහුගිය ආණ්ඩුව කාලයේ ලොකුම සටන් පාඨය වූයේ විදේශීය රටවල් සමග තියෙන ප්ලග්එක ගලවනවා කියන කාරණය බවත්, එය මහජනතාවගේ චින්තනයටත් කාන්දු වී තිබූ අතර, අවසානයේ එම පාලන කාලය තුළ ණය බර වැඩි වීම, විදෙස් ආධාර අඩු වීම, නිෂ්පාදන අඩු වීම වැනි තත්ත්වයන් නිසා ජාත්‍යන්තර වශයෙන් විශාල පීඩනයක් එල්ල වූ බවත්ය.

 පසුගිය අවුරුදු දෙකේදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා උත්සාහ ගත්තේ එලෙස එල්ලවූ පීඩනයෙන් මේ රට මුදවා ගැනීමට බව මහාචාර්යවරයාගේ අදහස විය.


සංවාදයන් ජනතාව තුළ නිරූපනය වීම :

අප වැනි නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මකවන රටවල මහජන අදහස් නියෝජනය කළ යුතු සේම මහජන නියෝජිතයන්ගේ සංවාදයන් ජනතාව තුළ නිරූපනය වීම ද සිදු විය යුතු බව මහාචාර්යවරයා පැවසිය.

එහිදී ජනතාවට නොපෙනෙන සහ ජනතාව හඳුනන්නේ නැති යම් යම් සංකීර්ණ ප්‍රශ්න ඉදිරියට ගෙන යාම ද සිදුවිය යුතු බවත් පසුගිය අවුරුදු දෙකක කාලය තුළ සිදු වූයේ එවැනි ජනතාවගේ සංවාදයට හසු නොවන කාරණා කෙරෙහි වැඩිපුර උනන්දු වීම බවත් ඔහු පැවැසීය.

ජාත්‍යන්තර වශයෙන් හිමිවිය යුතු තැන :


සුවිශාල ගෝලීය ආර්ථීකයක පොඩි රටක් වීමේ යතාර්ථය සහ එහි පීඩනය හොඳින්ම දන්නේ ජනාධිපති සහ අගමැති බවත් එම පීඩනය ලිහිල් කිරීමේ කාර්යය පසුගිය දෙවසරක කාලය තුළ සිදුවූ බවත් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පවසයි.

රොහාන් සමරජීව මහාචාර්යවරයා සිය අදහස් දැක්වීමේදී තව දුරටත් පෙන්වා දුන්නේ අපේ රට අත්‍යවශ්‍ය දේවල් ආනයනය කරමින් අපනයන මත රඳාපවතින රටක් සේම මේ රටේ වැඩි පිරිසක් විදෙස් රටවල ජීවත් වන බවයි.

''අපේ රටේ ජනතාව තවමත් දකින්නේ දේශපාලන නායකයෙන් පිටරට සංචාරය කිරීම සුඛෝපභෝගී කාරණයක් ලෙස, නමුත් නරේන්ද්‍ර මෝඩි මහත්තයාගේ හැසිරීම බැලූවොත් ඔහු ජීවත්වෙන්නේ ඒරොප්ලේන් එකක වගේ. අර තරම් විශාල මහද්වීපික රටක් වෙලත් ඔහුගේ ප්‍රධාන කාර්යය වී තිඛෙන්නේ ජාත්‍යන්තර වශයෙන් ඉන්දියාවට හිමිවිය යුතු ස්ථානය සාක්ෂාත් කරගැනීම බව ද ඔහු පැවසීය.

පසුගිය ජනාධිපතිවරණය :


2015 ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කරුණු දැක්වූ රොහාන් සමරජීව මහාචාර්යවරයා පැවසුවේ, එම මැතිවරණය රාජ්‍ය බලය සම්පූරණයෙන්ම නග්නව ක්‍රියාත්මක වූ මැතිවරණයක් බවත් එවන් මොහොතක පවා ජනතාව සිය ඡන්දය අනෙක් පාර්ශ්වයට පාවිච්චි කිරීම තීරණාත්මක ක්‍රියාවක් සේ තමන් සළකන බවත්ය.

තවද තමන් නිර්මාණය කළ විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් කෝටි 80ක පමණ අති විශාල මුදලක් එම ඡන්දයේදී සිල්රෙදි සඳහා වියදම් කළ බව පෙන්වා දුන් මහාචාර්ය සමරජීව මහතා, එකී පාලන සමය සමාන කළේ උඩරට රදළ පාලන සංස්කෘතියටය.

HE FORUM හි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවූ අතර අමාත්‍ය රාජිත සේනාරත්න, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, ආරක්ශක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ඇතුළු මැති ඇමැතිවරුන් සහ විද්වතුන් බොහෝ පිරිසක් සහභාගි වී සිටියහ


 සබැඳි පුවත් :


'දක්ෂිණාංශික බලවේග නිසා මෛත්‍රී අසරණවෙලා' - දයාන්

'ආණ්ඩුවට නිවැරදි ආර්ථීක දැක්මක් නැහැ' - සිරිමල් අබේරත්න

මේක 'සුළු ජනතාවගේ' ආණ්ඩුවක් ! - සුරේන් රාඝවන්

විපක්ෂයට හැකි ආණ්ඩුවට බැරි දේ මරික්කාර් කියයි (වීඩියෝ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top