Jan 21, 2017

‘අරයා’ අයින් කළොත් ආණ්ඩුව ගොඩ - එජාප මන්ත්‍රීවරු කියයි Featured

යහපාලන ආණ්ඩුවට එරෙහිව නැඟී ඇති දූෂණ චෝදනා සමනය කර ගැනීම වෙනුවෙන් බරපතළ ලෙස මූල්‍ය සහ රාජ්‍ය දේපළ අවභාවිතය සම්බන්ධව චෝදනා  ලබා සිටින එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රබල අමාත්‍යවරයකු අදාළ අමාත්‍ය ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් විසින් ජනාධිපතිවරයා වෙත  යෝජනා කර ඇතැයි වාර්තා වෙයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම මන්ත්‍රී කණ්ඩායම අදාළ යෝජනාව සිදුකර ඇත්තේ පසුගිය අඟහරුවාදා (17) කැබිනට් මණ්ඩල රැස්වීමෙන් පසුව ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැත්වුණු විශේෂ හමුවකදීය.

වාර්තා වන ආකාරයට ජනාධිපතිවරයා විසින් මෙම විශේෂ හමුව කැඳවා ඇත්තේ විපක්ෂයේ පිරිස් ආණ්ඩුව වෙත එල්ල කරන අපවාදවලට සාර්ථකව පිළිතුරු දීම ඇතුළුව ආණ්ඩුවට ශක්තිමත් ප්‍රචාරණ යාන්ත්‍රණයක් පවත්වාගෙන යාම සම්බන්ධව සාකච්ඡා කිරීමටය.

මෙම අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් 20කට ආසන්න ප්‍රමාණයක් කැඳවා තිබූ අතර  ඉරාන් වික්‍රමරත්න, රාජිත සේනාරත්න,  අශෝක අබේසිංහ, නලින් බණ්ඩාර, අජිත් මානප්පෙරුම, චතුර සේනාරත්න ඇතුළුව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් දසදෙනකු පමණ ඊට සහභාගී වූ බව ද වාර්තා වෙයි.


ආණ්ඩුවේ දුර්වල ප්‍රචාරණය :

 
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට මෙහි දී අදහස් දක්වමින් ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ පවතින දුර්වල ප්‍රචාරණ කටයුතු හේතුවෙන් ආණ්ඩුවට එරෙහි අභූත චෝදනා මෙන්ම  ඉතා කුඩා කාරණා පවා විශාල වැරැදි ලෙස සමාජගත වන තත්ත්වයක් මතුව ඇති බවත් ඊට වහා පිළියම් යෙදීමට කැඳවන ලද මන්ත්‍රී කණ්ඩායමේ සක්‍රිය මැදිහත් වීම අපේක්ෂා කරන බවත්ය.

ජනාධිපතිවරයා මතු කළ කාරණය සම්බන්ධව ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දී ඇත්තේ බැඳුම්කර සිදුවීම මෙන්ම ආණ්ඩුවේ ප්‍රබල  අමාත්‍යවරුන් කිහිපදෙනකුට එල්ල වී ඇති චෝදනා සම්බන්ධව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පැහැදිලි නොමැතිකම හේතුවෙන් තමන් ද බලවත් දුෂ්කරතාවකට පත්ව ඇති බවත් ඒ සම්බන්ධව පැහැදිලි ස්ථාවරයක් ගැනීමට ආණ්ඩුව සමත් වෙතොත් විපක්ෂය එල්ල කරන චෝදනාවලින් ආණ්ඩුව රැක ගැනීම තමන්ට දුෂ්කර කටයුත්තක් නොවන බවත්ය.


සම්පූර්ණ සහාය දෙන බව :

වැඩිදුරටත් මේ සම්බන්ධව පැවැති සාකච්ඡාවේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දී ඇත්තේ ආණ්ඩුව නියෝජනය කරන එක් ප්‍රබල අමාත්‍යවරයකුට එල්ල වී ඇති මූල්‍ය අක්‍රමිකතා චෝදනා ඉතා බරපතළ බවත් ඉදිරි මැතිවරණවල දී එම චෝදනා හේතුවෙන් එජාප - ශ්‍රීලනිප දෙපාර්ශ්වයටම අර්බුද රැසකට මුහුණ දීමට සිදු විය හැකි බවත්ය.

ඒ හේතුවෙන් අදාළ අමාත්‍යවරයාව දැනට දරන අමාත්‍ය ධුරයෙන් ඉවත් කර වෙනත් විෂයක් සඳහා පත් කරන්නට ජනාධිපතිවරයා මැදිහත් වනවා නම් ඊට තමන්ගේ සම්පූර්ණ සහාය ලබා දෙන බවත් ඒ හරහා මේ  වන විට ආණ්ඩුවට එරෙහිව නඟන චෝදනා මුළුමනින්ම කණපිට පෙරළිය හැකි බවත් එම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාට යෝජනා කර ඇත.

අදාළ ඇමතිවරයා කව්දැයි ජනාධිපති ඉදිරියේ නමින් ප්‍රකාශ නොකිරීම විශේෂ කාරණයකි.


අගමැතිවරයාගේ වගකීමක් :

ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුවත් එජාපය සමඟ තමන් එළඹි ගිවිසුම අනුවත් අමාත්‍යවරුන්ගේ  විෂය සම්බන්ධව තීරණය ගැනීම අග්‍රාමාත්‍යවරයා සතු වන හෙයින් අග්‍රාමාත්‍යවරයා අදාළ නිර්දේශය ලබා දෙනවා නම් තමන් ඊට සූදානම් බවය.

එසේම අදාළ යෝජනාව අග්‍රාමාත්‍යවරයා වෙත ද ඉදිරිපත් කරන ලෙසත් එජාප මන්ත්‍රී කණ්ඩායම සඳහන් කරන ප්‍රබල අමාත්‍යවරයාගේ මූල්‍ය අක්‍රමිකතා සහ විෂයභාර අමාත්‍යවරයා ලෙස දේශපාලන බලය අවභාවිතයේ යෙදවීම ගැන පැමිණිලි ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් වෙතින් ද තමන්ට ලැබී ඇති බවය.

ඒ අනුව ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයා සම්බන්ධව අග්‍රාමාත්‍යවරයා වෙත විශේෂ පැමිණිල්ලක් සිදු කිරීමට නියමිතව ඇත.

(සංජය ලියනගේ)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top