Jan 21, 2017

සෙනසුරුත් එක්කම විජිත රෝහණත් වක්‍ර වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2017 ජනවාරි 26 වන දිනට පෙර හදිසි අනතුරකින් හෝ ශරීරයේ මස් දියවීමේ රෝගයකින් නියත ලෙසම මරණයට පත් වන බවට විජිත රෝහණ විජිතමුණි කී අනාවැකිය සෙනසුරු වක්‍ර වීම නිසා තවත් මාස දහයකින් කල් යන බව ඔහු විසින් සමාජ ජාල වෙබ් අඩවියට මුදාහරින ලද වීඩියෝවක දැක්වේ.

තමා ප්‍රවීණ ජ්‍යෝතීර්වේදියකු යැයි හඳුන්වා ගන්නා විජිත රෝහණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉහත කී දෙයාකාරයෙන් එක් ආකාරයකට නියත ලෙසම 2017 ජනවාරි 26ට පෙර මිය යන බව කීවේ ඔහු දිවුරුම් දී මාස තුනක් ඉක්ම යන්නටත් පෙරය.

2015 මාර්තු 17 වන දින සමාජ ජාල වෙබ් අඩවියට වීඩියෝවක් මුදා හරිමින් විජිත රෝහණ කීවේ තමන් මීට පෙර ප්‍රකාශ කරන ලද අනාවැකි කිසිවක් වැරැදී නොගිය බවයි.

“මම මීට පෙර අනාවැකි අටක් කිව්වා. ඒ අට වැරදුණේ නෑ. දැන් මම මේ කියන අනාවැකියත් එහෙමයි. මෛත්‍රීපාලගේ කේන්දරේට අනුව එක්කෝ හදිසි අනතුරකින් එහෙම නැත්නම් ඇඟේ මස් දියවීමකින් ඔහු 2017 ජනවාරි 26ට පෙර අනිවාර්යයෙන්ම මැරෙනවා.

අලුත් ව්‍යවස්ථාවට අනුව වැඩබලන ජනාධිපතිවරයකු පත් කරන්න පුළුවන් මාස තුනකට විතරයි. ඊට පස්සේ ඡන්දයක් තියන්න වෙනවා. ඒ ඡන්දයෙන් ගෝඨාභය මහත්තයා ජනාධිපති වෙනවා කියලා මම කියනවා. රට බේරාගත්ත ජනාධිපති මහින්ද අගමැති වෙනවා.

මෛත්‍රීපාලගේ කේන්දරේ සෙනසුරු උච්ච වෙනවා. ධනු රාශියට ගමන් කරනවා. ඒ නිසා 2017 ජනවාරි 26ට කලින් ඔහු මිය යනවා යනවාමයි. මගේ අනාවැකිය බොරු වුණොත් මම තවත් ජ්‍යෝතිෂ්‍ය කටයුතු කරන්නේ නෑ” යනුවෙන් ද ඔහු එම වීඩියෝවේ සඳහන් කළේය.

මරණය කල්දමා ඇති බව :

එම වීඩියෝව වරින් වර සංස්කරණය කරමින් සමාජ ජාල වෙබ් අඩවිවලට මුදාහැරිය අතර 2017 ජනවාරි 26 වන දිනය ආසන්න වෙත්ම විජිතමුණි කියා සිටියේ සෙනසුරු වක්‍ර වීම නිසා මෛත්‍රීගේ මරණය කල්දමා ඇති බවයි.

මෛත්‍රීගේ මරණය කල්දැමීම සම්බන්ධයෙන් ඔහු සමාජ ජාල වෙබ් අඩවියට මුදාහැර ඇති වීඩියෝවේ මෙසේ කියා සිටී.

“මම කිව්වා 2017 ජනවාරි 26ට කලින් මෛත්‍රී මැරෙනවා කියලා. ඒක කිව්වේ ජ්‍යෝතිෂ මූලධර්ම මත. මම කාටවත් කඩේ යන්නේ නෑ. සෙනසුරු දැන් වක්‍ර වෙලා තියෙන්නේ. ඒ වක්‍ර වීම 2017 අප්‍රේල්, මැයි, ජුනි, ජූලි සිට ඔක්තෝබර් දක්වා බලපානවා. ඔක්තෝබර් මාසයේ තමයි එයාගේ මරණය සිද්ධ වෙන්නේ. ඒකට තවත් මාස දහයක් බලාගෙන ඉන්න වෙනවා.”

විජිතමුණිගේ මේ ප්‍රකාශයන් උමතුවෙන් කරන ඒවා මිස ජ්‍යෝතිෂ්‍ය විෂය පිළිබඳ ප්‍රාථමික දැනුමක් හෝ ඇතිව කරන ඒවා නොවන බව ජ්‍යෝතීර්වේදීන්ගේ අදහසයි.

මෛත්‍රීගේ මරණය කියන්නට පුළුවන් නම් සෙනසුරුගේ වක්‍ර වීම වේලපහෙන් නොපෙනුණේ මන්දැයි ඔවුහු ප්‍රශ්න කරති.

එසේම විජිතමුණි කරන්නේ තක්කඩිකමක් හා අනාවැකි පාතාල මෙහෙයුමක් බව ද ඔවුහු කියා සිටිති.

‘කණා වැකි’වලට ජනපතිත් බයවෙලා ?

මරණය පිළිබඳව අනාවැකි පළ කිරීමෙන් කිසියම් පුද්ගලයකු මානසිකව දුර්වල කිරීමේ හැකියාව ඇති බවත් විජිතමුණි කරන්නේ කිසියම් ප්‍රතිවාදී දේශපාලන වුවමනාවක් වෙනුවෙන් ‘කණා වැකි’ පළ කිරීම බවත් දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.

කෙසේ වුව ද විජිතමුණිගේ බේගල්වලට රැවටුණු ජනාධිපතිවරයා ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ සිට මේ දක්වාම මෙරට අභ්‍යන්තර ගුවන් ගමන් සීමා කර ඇත.

එසේම දානමාන පිංකම් හා ආශිර්වාද පූජා පවත්වන ලෙස ඔහු නිකුත් කරන ලද චක්‍රලේඛ පවා මරණ බිය වෙනුවෙන් මුහුණ පා සිටි මානසික ආතතිය නිරූපණය කළේය.

විජිතමුණිගේ අනාවැකියට බිය වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2014 වසරේ ජනාධිපතිවරණයට මාස කිහිපයක් තිබිය දී ජ්‍යෝතීර්වේදී සුමනදාස අබේගුණවර්ධන, මාපලගම විමලරත්න, චන්ද්‍රසිරි බණ්ඩාර ඇතුළු අනාවැකිකරුවන් කී අනාවැකි ‘ගොනාවැකි’ වූ ආකාරය සිහිපත් කරගෙන නැත.

හිසට වෙඩි තබා ගන්නා බව :

2014 වසරේ නොවැම්බර් මාසයේ දී එවකට ප්‍රවීණ යැයි කියාගත් ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර රූපවාහිනී නාලිකාවක සංවාදයකට සහභාගී වෙමින් කීවේ 2015 ජනාධිපතිවරණයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළිත් වරක් විධායක ජනාධිපතිවරයා ලෙස ජයග්‍රහණය කරන බවයි.

එසේ නොවුවහොත් තමන් හිසට වෙඩි තබා ගන්නා බව ද කීවේය. මේ ආකාරයෙන් මරාගෙන මැරෙන ආකාරයේ බිහිසුණු අදහස් පළ කරන්නේ හුදු දේශපාලන උපක්‍රම ලෙස මිස ඔවුන් ප්‍රගුණ කර ඇති විශේෂිත විෂය පද්ධතියක් නිසා නොවේ.

මෛත්‍රීගේ මරණය සෙනසුරුගේ වක්‍ර වීමෙන් කල් දැමීම ද විජිතමුණිගේ ගැලවිජ්ජාවට කළ දේශපාලන උපක්‍රමයක් මිස සෙනසුරුගේ ඇද වීමක් නොවේ.

අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගියකු ගැන මිස සාමාන්‍යයෙන් නිරෝගී මිනිසකුගේ මරණය සිදු වන දිනය හෝ වේලාව කිව හැකි තාක්ෂණයක් වෛද්‍ය විද්‍යාව විසින් ද මෙතෙක් සොයාගෙන නැත.

එවැන්නක් නොතිබීම ද මේ අනාවැකිකරුවන්ගේ වෘත්තීය පැවැත්මට හේතු වී ඇත.

(දයා නෙත්තසිංහ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top