Jan 21, 2017

චෝගම් නැට්ටුවන් කරන මුදල් ඇමතිගෙ සුවිප් පාටිය හෙට Featured

ලොතරැයි අලෙවි නියෝජිතයින්ට හෙට (22) රාත්‍රියේදී රත්මලානේ ඊගල් ලේක් සයිඩ් හෝටලයේ සාදයක් පැවැත්වීමට ජාතික ලොතරැයි මණ්ඩලය කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

මේ සාදය සංවිධානය කිරීමට උපදෙස් දී ඇත්තේ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් බවද වාර්තා වේ.

අදාළ සාදය සංවිධානය කිරීම පවරා ඇත්තේ ලොවක් හමුවන රටක් යන තේමාව යටතේ 2013 වසරේ ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්‌ඩලයීය නායක සමුළුවේ (චෝගම්) සංවිධානය කිරීමට කටයුතු කළ චමිත් දිසානායකගේ මීඩියා මැක්ස් ආයතනයටය.

ගිනිවතුර අනුග්‍රාහකයා ඇලෝසියස්

මෙහි මත්පැන් සැපයීම අර්ජුන ඇලෝසියස්ගේ මෙන්ඩිස් සමාගමින් සිදු කිරීමට නියමිත බවද පැවසේ.

කෙසේවුවද මේ සාදය වර්ජනය කිරීමට අලෙවි නියෝජිතයින් මේවන විට තීරණය කර ඇතැයි නම හෙළි නොකළ නියෝජිතයෙක් කියා සිටියේය.

මුදල් අමාත්‍යවරයා විසින් ලොතරැයි පතක මිල රුපියල් 20 සිට 30 දක්වා වැඩි කිරීමට උත්සාහ කිරීමත් සමඟ අලෙවි නියෝජිතයින් දැඩි උද්ඝෝෂණයක් සිදු කළ අතර පසුව ජනපතිවරයා ලොතරැයි මිල වෙනස් නොකිරීමට නියෝග කළේය.

චෝගම් කෙළියේ හෙළිවූ කරුණු

වෝගම් හි ශ්‍රී ලංකාවේ මාධ්‍ය කටයුතු සඳහා පමණක්‌ මහා භාණ්‌ඩාගාරය රුපියල් කෝටි එකසිය එකොළහකට වැඩි මුදලක්‌ (කෝටි 111.7 ක්‌) වැයකර ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී හෙළිකර තිබිණි.

එම සමුළුව වෙනුවෙන් බණ්‌ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ස්‌ථාපිත කළ මාධ්‍ය මධ්‍යස්‌ථානය සඳහා රුපියල් අසූ දෙකෝටි හැත්තෑ තුන් ලක්‍ෂයක්‌, විද්යුත් මාධ්‍ය ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් දහඅට කෝටි දස ලක්‍ෂයක්‌, ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා රුපියල් දාහතර කෝටි හතළිස්‌ ලක්‍ෂයක්‌, කාර්යාල උපකරණ සඳහා රුපියල් ලක්‍ෂ පනහක්‌, දෙස්‌ විදෙස්‌ මාධ්‍යවේදීන්ගේ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා රුපියල් කෝටියක්‌, වෙනත් වියදම් සඳහා රුපියල් ලක්‍ෂ අනූවක්‌ ආදී වශයෙන් ඉහත මුදල වැය කර ඇති බවද පැවසේ.

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top