nsb

Jan 22, 2017

ආණ්ඩුව කොස් කොළ හොයයි - ඇවන්ට්ගාඩ් සලාද කොළ වවයි

නියං සායට උත්තර ලෙස ආණ්ඩුවේ යෝජනාව වූයේ කොස් කොළ, කෝප්ප කොළ, ක්‍රෝටන් කොළ ආදිය කෑමට සූදානම් වන ලෙසය. කොස් කොළ, ක්‍රෝටන් කොළ ආදිය කෑම මේ රටේ පුරවැසියන්ට අමුතු දෙයක් නොවේ. පැරැන්නො ඒවා තමන්ගේ ආහාර වේලට විවිධාකාරයෙන් පිස එක්කර ගත්හ. ඖෂධීය ගුණාධික ආහාර කාණ්ඩයට මේවා වැටෙයි. නමුත් ගැටලුව එය නොවේ.

දීර්ඝ නියං සමයක දී කොස් කොළයක්වත් ඉතුරු වෙයිද යන්න ගැන හෝ කල්පනා නොකර මේ කරන යෝජනාව විකාරයකි.

අනෙක් අතින් ජනතාවට කොස් කොළ කාපන් යැයි කියන්නට ආණ්ඩුවක් ඕනෑ නැත. බඩගින්නට තණකොළ හෝ කෑමට ජනතාවට කොහොමත් සිදු වනු ඇත.

ආණ්ඩුවට තවම වගේ වගක් නැ:

ඊළඟට ජල හිඟයට උත්තරය ලෙස පසුගිය දා ප්‍රකාශ වූයේ නල ළිං 400 ක් අලුතෙන් සකස් කිරීම හා දැනට පවතින ළිඳවල් 1000 ක් තව ගැඹුරු කිරීමය. කෝටි දෙකකට අධික ජනතාවකට ඒ මඟින් ලැබෙන ජලය ප්‍රමාණවත් වනු ඇති බව ආණ්ඩුව කල්පනා කර ද තිබේ. එහෙත් රටේ ජල මූලාශ්‍ර විනාශ කරමින් ගෙන යන සංවර්ධනය ගැන ආණ්ඩුවට තවම වගේ වගක් නැත.

මෙවැනි පිස්සු විකාර ආණ්ඩුවක් මෑත කාලයේ මෙරට බිහි වූයේ නැති බව දැන් වුවමනාවටත් වඩා පැහැදිලිය. ඒ පිස්සු විකාරය මතු වෙන්නේ පහුගිය ආණ්ඩුව ඉතුරු කර ගිය කහළගොඩම බදාගෙන කන්නට කරන පොරකෑම නිසාය.

ආණ්ඩුව යැයි මෙහි දී සඳහන් කරන්නේ ජනාධිපතිවරයා ප්‍රමුඛව ඔහුගේ ශ්‍රීලනිප පාර්ශ්වයත් අගමැතිවරයා ප්‍රමුඛ එජාපයත් ගිවිසුම් අත්සන් කරගෙන පිහිටුවාගෙන තිබෙන සම්මුතිවාදී ආණ්ඩුවය යන්න ද මෙහි දී අවධාරණයෙන් පැවසිය යුතුය.

මේ සම්මුතිවාදී ආණ්ඩුවේ තීන්දු තීරණ කවුරු කොතැන ඉඳන් ගන්නවාදැයි ආණ්ඩුවම දන්නේ නැත. කරන්නෙ කියන්නෙ මොනවාද යන්න ගැන කිසිවකුට තේරුමක් නැත. පසුගිය වසර දෙක පුරා ආණ්ඩුව කළ කී දේ ගැන සහ ඒවායේ ප්‍රතිඵලයන් විසින් ඉතුරු කර ඇත්තේ ඔය අපභ්‍රංශය පමණය.

305872101avantGARDE Lපෞද්ගලික ගේම් : ඇවන්ට්ගාඩ් 'ඇන ගැනීම' :

රාජපක්ෂ සමයේ සිදු වූ වංචා දූෂණ ආදිය අපමණවත් තිබුණත් ඒ කිසිවක් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ ක්‍රියාත්මක වීම වෙනුවට දේශපාලනික වුවමනා එපාකම් පෞද්ගලික වුවමනා එපාකම් මත එම සිදුවීම් දඩමීමා කරගෙන වෙනත් ගේම් ගැසීම ද මේ වන විට පැහැදිලිව තිබේ.

ඒ අතර දී බරපතළ වරද්දා ගැනීම් ද විහිළුසහගත මෙන් මුග්ධ ක්‍රියා ද තිබිණි. මේ කොයි ගණයට වැටුණත් ඇවන්ට්ගාඩ් සමුද්‍රාරක්ෂක සමාගම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුව සහ ඇතැම් මැති ඇමැතිවරුත් පෞද්ගලිකවමත් කරනු ලැබූ මැදිහත් වීම් සමහරුන්ට අඬන්න ද තවත් සමහරුන්ට සිනාසෙන්නට ද හේතු වී තිබේ.

ඇවන්ට්ගාඩ් සමාගමේ පාවෙන අවි ගබඩා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නැඟුණු චෝදනා රැසක්ම මේ වන විට පදනම් රහිත බව ඔප්පු වී ඇත. එමෙන්ම එම සමාගම රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ වන රාජ්‍ය සමාගමක් වූ රක්නා ආරක්ෂක ලංකා සමාගම හා ගිවිසුමකින් බැඳී ගෙන ගිය ව්‍යාපාරයේ ගිවිසුම් කොන්දේසි කඩ කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට ද සිදුව තිබේ.

ඒ, සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලය හමුවේ ඇවන්ට්ගාඩ් ව්‍යාපාරය විසින් පවරනු ලැබූ නඩු විභාගයකින් අනතුරුව ලැබුණු තීන්දුව මතය. ඒ අනුව රුපියල් මිලියන 840 ක් ඇවන්ට්ගාඩ් සමාගමට ගෙවීමට නියම විය.

නීති විරෝධී අවි:

මීට අමතරව සිය නැව අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීම නිසා තමන්ට සිදු වූ පාඩුවට රුපියල් මිලියන 2400ක වන්දියක් ඉල්ලා නාවික හමුදාපතිවරයාට එරෙහිව නඩුවක් ද මේ වන විට විභාග වෙමින් තිබේ.unnamed 21

ගාල්ල පොලීසිය විසින් ඇවන්ට්ගාඩ් නෞකාවේ නීති විරෝධී අවි තිබුණාය කියමින් පවරනු ලැබූ නඩුව ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙහි දිගු කාලයක් මුළුල්ලේ විභාග වෙමින් පවතින නමුත් එම නෞකාවේ නීති විරෝධි අවි හෝ උණ්ඩ කිසිවක් නොමැති බවට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයකින් පසුව තහවුරු කර තිබේ.

එහෙත් එම නඩුව තීන්දුවක් ප්‍රකාශයට පත් නොකරමින් ඇදි ඇදී තිබේ.

අල්ලස් කොමිසම විසින් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් සිදු කළාය යැයි කියමින් පවරනු ලැබූ නඩුව ද ශක්තිමත් නඩු නිමිත්තකින් තොරව පවරනු ලැබූවක් බවට බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.

එමෙන්ම එම ව්‍යාපාරය නාවික හමුදාවට පවරනු ලැබීමෙන් පසුව ලබා ඇති ආදායම හා සලකා බැලීමේ දී එය ඇවන්ට්ගාඩ් සමාගම සතුව තිබිය දී ඊට වඩා ආදායමක් රටට ලැබී තිබුණු බව මේ වන විට තහවුරුව ද තිබේ.

යහපාලන ආණ්ඩුව යටතේත් :

එමෙන්ම අල්ලස් කොමිසම විසින් මෙම ඇවන්ට්ගාඩ් ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා වන අනුමැතිය ලබා ගැනීමට පසුගිය රාජපක්ෂ සමයේ දී රක්නා ලංකා සමාගමේ සභාපතිවරයාට මිලියන 335 ක අල්ලසක් ලබා දුන්නාය කියමින් ද නඩුවක් ඇති නමුත් බරපතළ ගැටලුව වන්නේ වත්මන් යහපාලන ආණ්ඩුව යටතේ ද ඇවන්ට්ගාඩ් සමාගම ආරක්ෂක අමාත්‍යාංශය සමඟ වන ගිවිසුම් අලුත් කරමින් මේ දක්වා ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාමය.

ගාල්ල වරාය අසල ජාත්‍යන්තර මුහුදේ පවත්වාගෙන ගිය එම් වී මහනුවර නම් පාවෙන අවි ගබඩාව අත්අඩංගුවට ගැනීමත් මෙරට අවි තැන්පත් කිරීම සඳහා රතු මුහුදේ ස්ථානගත කර තිබූ එම් වී ඇවන්ට්ගාඩ් නෞකාව මෙරටට එම අවි බාර දීමට පැමිණි මොහොතේ දී අත්අඩංගුවට ගැනීමත් සිදු කොට එම ව්‍යාපාර නාවික හමුදාවට ලබා දෙනු ලැබීය.

නාවික හමුදාවට පාවෙන අවි ගබඩා පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර නීතිය යටතේ අවසරයක් නැති බැවින් ගාල්ලේ නාවික හමුදා කඳවුර තුළ වන ගබඩාවක අවි තැන්පත් කිරීම සහ අනෙක් සමාගම්වල සී මාර්ෂල්වරුන්ට අවි නිකුත් කිරීම සිදු කරනු ලබයි.

එහෙත් මෙරට අවි නැවත රතු මුහුද ආශ්‍රිතව තැන්පත් කිරීම සඳහා රටට විශ්වාස කළ හැකි පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යන්නකු සිටියේ නැත. ඒ අනුව නැවත ආරක්ෂක අමාත්‍යාංශයට සරණ පතන්නට සිදු වූයේ ඇවන්ට්ගාඩ් සමාගමෙන්මය.

ඇවන්ට්ගාඩ් පිහිටෙන් :

මේ වන විට ගාල්ලෙන් නාවික හමුදාව විසින් නිකුත් කරනු ලබන මෙරට අවි, රතු මුහුදේ දී බාරගෙන ඒ ආරක්ෂා කරන්නේ ඇවන්ට්ගාඩ් සමාගමට අයත් අනෙක් පාවෙන අවි ගබඩාවක පිහිටෙනි. වාර්තා වන ලෙස මේ වන විට අවි 250 කට ආසන්න ප්‍රමාණයක් මෙම සමාගමේ ආරක්ෂාව යටතේ පවතී.

වත්මන් ආණ්ඩුව විසින්ම නීති විරෝධී ව්‍යාපාරයක්, ගිනි අවි ජාවාරම්කරුවකු රටට පාඩු සිදු කළ අයෙක් ආදී වශයෙන් චෝදනා රැසක් එල්ල කළ මෙම ව්‍යාපාරික සමාගම සමඟ වත්මන් රජය විශ්වසනීයව ගනුදෙනු කරන්නේ කෙසේද? වත්මන් රජය සමඟ ද මේ ව්‍යාපාරික සමාගම ඩීල් එකක් දමලාද නැතිනම් සියලු චෝදනා පුස්සක් බව ආණ්ඩුවම තේරුම් අරගෙනද යන්න නුදුරේ දී පැහැදිලි වනු ඇත.

ඒ කෙසේ නමුත් කලින් කී ලෙසම ආණ්ඩුව විසින් කරමින් කියමින් යන දේ අනුව ඇවන්ට්ගාඩ් ප්‍රශ්නයේ දී ආණ්ඩුව ඇනගෙන තිබෙන බව පැහැදිලිය.

මෙරටට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ගෙන ආ සහ හාරදහසකට පමණ ඉහළ වැටුප් සහිත ගෞරව රැකියා ලබා දීම පමණක් ලොව සමුද්‍රාරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ලෝකයේ අංක එකේ ව්‍යාපාරික සමාගමක් බවට ද පත්වන මේ රටේම සමාගමක් හා ගනුදෙනු බේරා ගැනීමේ දී ඕනෑම ආණ්ඩුවක් ඉතා පරිස්සම්සහගත විය යුතුය.

කඹේ කඩා ගත් කුලප්පු හරක් මෙන් කටයුතු කිරීමෙන් වන්නේ අනර්ථයකි. ලොව කීර්තිමත් සමාගමක්, දක්ෂ ව්‍යවසායකයකු පමණක් නොව රැකියා හාරදහසක් අර්බුදයට යැවීම මේ හරක් වැඩ නිසා සිදු විය.

ඇවන්ට්ගාඩ් ගොවිතැනට බහී :

එහෙත් ඒ එසේ වීමට ඉඩ නොතබා තමාට එල්ල වූ අභියෝගය හමුවේ නොසැලී සිටීම මෙන්ම නව ඉසව් ඔස්සේ හෝ තම ව්‍යාපාරික අරමුණු වෙත යාමට ඇවන්ට්ගාඩ් ආයතනයේ හිමිකරු නිශ්ශංක සේනාධිපති සමත්ව ඇත.IMG 0980

මේ නියඟය නිසා වන ආහාර හිඟයට විසඳුම කොස් IMG 1473කොළ කෑම යැයි ආණ්ඩුව පවසන විට සේනාධිපති මහතා සිදු කරනු ලැබුවේ ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ හෝ වාරයක් අවාරයක් නැතුව වසර පුරාම ඉහළ අස්වැන්න ලැබිය හැකි ආහාර බෝග වගා කිරීමය.

සේනාධිපති මහතා මේ වන විට ශූර ගොවියෙකි. ලෝකයේ අද පවතින ඉහළම තාක්ෂණික ක්‍රමවේදයන් (Hydroponics) යොදාගෙන සාර්ථක අස්වැන්නක් නෙළා ගැනීමේ හැකියාව දැන් ඔහුට ලැබී තිබේ.

පස් නොමැතිව ඉතා අඩු ජලය ප්‍රමාණයක්, ඛනිජමය පෝෂක ද්‍රව්‍ය යොදා, ඉතා අඩු ඉඩම් ප්‍රමාණයක් පාවිච්චි කරමින් සාමාන්‍ය වගාවක දී ලබාගත හැකි අස්වැන්න මෙන් දස ගුණයක අස්වැන්නක් ලබා ගැනීමට ඔහු සමත්ව ඇත.

ඊශ්‍රායලය ආදී ශුෂ්ක කලාපීය රටවල මෙම වගා ක්‍රමය මේ වන විට සාර්ථකව කරගෙන යනු ලබයි.

මසකට කිලෝ තිස්පන් දහසක් :

මීට මාස අටකට පමණ පෙර තමන් විසින් මිලදී ගත් කළුතර, අලුත්ගම හා බදුල්ලේ දියලුම පිහිටි වගා බිම් දෙකෙහි ආරම්භ කළ වගාවල අස්වැන්න මේ වන විට මසකට කිලෝ තිස්පන් දහසක් පමණ ලබා ගත හැකි මට්ටමට පත්ව තිබේ.

ඔහුගේ කෙටිකාලීන ඉලක්කය වන්නේ තව මාස 6ක් ඇතුළත මාසයකට කිලෝ ලක්ෂයක අස්වැන්නක් ලබා ගැනීමය.

මේ වන විට නිෂ්පාදනය අපනයනය කරමින් පවතින අතර නුදුරේම මෙරට පවතින වෙළෙඳපොළ මිල ගණන්වලට වඩා අඩකින් පමණ අඩු මුදලකට එම නිෂ්පාදන මෙරට වෙළෙඳපොළට යොමු කිරීමට ද අදහස් කර තිබේ.

මේ වන විට සලාද කොළ හා බෙල් පෙපර් වර්ග විස්සක් පමණ වගා කිරීම සිදු කරන අතර තවත් මෙරට එළවළු වර්ග රැසක් වගා කිරීම සම්බන්ධයෙන් අත්හදා බැලීම් කරමින් තිබේ.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව තුළ නව නිර්මාණශීලී අදහස් සහිත ව්‍යවසායකයන්ට අවස්ථාව ලැබෙන්නෙ කලාතුරකිනි.

e0b687e0b780e0b6b1e0b78ae0b6a7e0b78ae0b69ce0b78fe0b6a9e0b78aඅලුත්ම සංකල්පයක් :

ඇවන්ට්ගාඩ් සමුද්‍ර ආරක්ෂක සමාගම පාවෙන අවි ගබඩා ව්‍යාපාරය මෙරටට හඳුන්වා දුන් හා එවැනි ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය එකම සමාගම වූ අතර ඒ මෙරටට අලුත්ම සංකල්පයක් විය.

එම ව්‍යාපාරය අවස්ථාව ලබා ගැනීම සඳහා රජයේ නිලධාරීන්ට හෝ දේශපාලකයන්ට අල්ලස් ලබා දීම මඟින් මිසක් වෙනයම් ක්‍රමයක් නැති බව බොහෝ අය කල්පනා කරන්නේ ද ඒ මේ රටේ හැටියක් නිසාය.

මෙම කෘෂි ව්‍යාපෘතිය වැඩි දියුණු කිරීම සඳහා නුවරඑළියේ පිහිටි රජයේ ඉඩමක් බදු පදනම යටතේ ලබා දෙන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා මේ වන විට මාස තුනක කාලයක් ඉක්ම ගොස් ඇතත් මෙතෙක් ඊට ප්‍රතිචාරයක් ද ලැබී නැත.

එහෙත් ඒ වෙනුවෙන් කිසිවකුට හෝ අල්ලසක් ලබා දුන්නේ නම් ඒ පහසුවෙන් සිදු කළ හැකිව තිබුණත් ඒ වෙනුවට වැඩ කර වැඩෙහි ප්‍රතිඵලය පෙන්වීමට අද මේ සමාගමට හැකිව තිබේ.

පාලකයෝ කන්නේ තණකොළ ද ?

පාලකයෝ රටේ ජනතාවට කොස් කොළ කෑමට සූදානම් වන ලෙස පවසන කලෙක තව මිනිසකු නැවුම් එළවළු කෑමට සූදානම් වන ලෙස පැවසීම පාලකයෝ කන්නේ තණකොළ දැයි ඇසීම අසාධාරණ නැත.

IMG 1947ආණ්ඩුවකට රට ගැන අනාගත දැක්මක් තිබේ නම් විය යුත්තේ මේ නව නිර්මාපකයන්ට උදව් කිරීමය.

පසුගිය දා ජනාධිපතිවරයා මේ රට සංවර්ධනය කළ හැක්කේ ගොවිතැනින් බවට ප්‍රකාශයක් කර තිබිණි. නමුත් ගොවිතැන කියන්නේ වසරකට රුපියල් බිලියන සියයක් පමණ මහජන මුදල් නැති භංග කරමින් අතිවිශාල ජලය ප්‍රමාණයක් නාස්ති කරමින් විස රසායන කන්දරාවක් මහ පොළොවට දමමින් හා විශාල ඉඩම් ප්‍රමාණයක් මෙන්ම සීමාසහිත කාලයකට පමණක් කළ හැකි වී ගොවිතැන නොවේ.

මෙරට පවත්නා වී ගොවිතැනින් රජයටවත් ගොවියාටවත් කිසිදා ලාභ ලැබිය හැකි නොවේ. ඒ සාම්ප්‍රදායික වැය අධික මෝස්තරයක් පමණි. විකල්ප බෝග මෙන්ම විකල්ප ක්‍රමවේදයන් රටේ අවශ්‍යතාවට ගැළපෙන ලෙස රටට අමතර ආදායමක් ලැබෙන ලෙස හඳුන්වා දීම විය යුතුය.

ඒ වෙනුවෙන් වෙහෙසෙන ව්‍යවසායකයන්ට අවස්ථාව හා සියලු පහසුකම් ද ලබා දිය යුතුය. රටක ‘ආහාර සුරක්ෂිතතාව’ යථාර්ථයක් වීම කෙරෙහි මේ දැඩිව බලපානු ලබන බව කිවයුතු නොවේ.

ශ්‍රී ලංකාව වැනි රටවල් දියුණුව වෙනුවට සංවර්ධනයේ නාමයෙන් ඊට සමගාමීව දූෂ්‍ය වූයේ දේශපාලකයාගේ වුවමනා එපාකම් මත රටේ ප්‍රතිපත්ති නීති රීති ආදිය ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහය අන් සියල්ලටම වඩා ඉහළින් තිබීමය.

දේශපාලකයාගේ මනදොල සැපිරීම:

පසුගිය කාලයේ ආයෝජනයට කැමැති වූවත් මෙරටේ කිසිදු නිෂ්පාදන කටයුත්තක් ආරම්භ කිරීමට ව්‍යවසායකයන් කැමැති නොවුණේ දේශපාලකයාගේ මනදොල සැපිරීම මූලිකම කටයුත්තව පැවැතීමය.

ඇවන්ට්ගාඩ් වැනි ව්‍යාපාරවලට සිදු වූයේ ද මෙලෙස දේශපාලකයන්ගේ මනදොල සැපිරීමටය.

ඒ අත්හිටුවන විට ව්‍යාපාරය නැති භංගස්ථාන කිරීම සිදු කරනු ලැබීය.

ඒ අනුව බොහෝ විටම නුදුරේ දී දේශපාලන තක්කඩියන් ඉල්ලන කප්පම් ගෙවීමට අපොහොසත් වුවහොත් මේ ඇවන්ට්ගාඩ් ගොවිබිම් ද නීති විරෝධී විය හැකිය. ඒ පුදුම විය යුතු කරුණක් නොවේ.

(සුභාෂ් ජයවර්ධන)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top