nsb

Jan 22, 2017

'මහින්ද ඉවත්කර ගන්න' - ඇමරිකානු තානාපති GL ට කියයි ! Featured

පසුගිය සතියේ දී මෙරට ඇමරිකානු තානාපති අතුල් කෙෂප් මහතා සමඟ මුහුණට මුහුණලා කළ සාකච්ඡාවක දී ඒකාබද්ධ විපක්ෂය විසින් තවදුරටත් තම නායකයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව පිළිගෙන කටයුතු කිරීමෙන් කිසිදු වාසියක් අත් නොවන බව තානාපතිවරයා පෙන්වා දුන් බව ජී. එල්. පීරිස් මහතා, මහින්ද රාජපක්ෂ මහතා වෙත දැනුම් දී ඇතැයි 'සත්හඬ' පුවත්පත වාර්තා කරයි.

ඇමරිකනු තානාපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේ දී වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ තවදුරටත් ඉදිරියට යෑම සිදු කළ නොහැකි බවත් ඔහුව අත්නොහැර කටයුතු කිරීමෙන් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ද අමාරුවේ වැටිය හැකි බවත්ය.

එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන අපේක්ෂාව වී තිබෙන සිය පුතු නාමල් රාජපක්ෂ මෙරට ජාතික නායකයකු කිරීමේ ක්‍රියාවලියට ඇමරිකානු රජයට සහාය දිය හැකි බවත් මෙහි දී අවධාරණය කර තිබේ.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් ජී. එල්. පීරිස් මහතා තොරතුරු අනාවරණය කර තිබුණේ මේ සතියේ කොළඹ විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවති ඒකාබද්ධ විපක්ෂයේ නායක හමුවකදීය.

මේ අවස්ථාවට මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වී ඇත.

රටවල් දෙකකින්ම බලපෑම් - දිවයින

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සක්‍රිය දේශපාලනයෙන් ඉවත්වන ලෙස ප්‍රබල රටක තානාපති කාර්යාලයක්‌ සහ අසල්වැසි රටක බුද්ධි අංශයක්‌ විසින් බලපෑම් එල්ලකර බව 'ඉරිදා දිවයින' පුවත්පත ද වාර්තාකර ඇත.

ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධානියකු වෙන වෙනම හමුවී අදාළ අංශ දෙක මෙම දැනුම්දීම කර ඇති බවත් එම පුවත් වාර්තාවේ දැක්වේ.

හිටපු ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය ශීඝ්‍රයෙන් පහළ බැස ඇති බැවින් ඔහුගේ ගෞරවය පිණිස මෙම ඉල්ලීම සිදුකරන බවත් එය මහින්ද රාජපක්‍ෂ මහතාට දැනුම් දෙන ලෙසත් ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රධානියා හමුවූ ඉහත පුද්ගලයන් දැනුම්දී ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතා නොපමාව මෙම තීරණය ගන්නේ නම් එය ඔහුගේ පවුලේ ඥතීන්ට මෙන්ම ඔවුන්ගේ දේශපාලන අනාගතයටද සුභවාදී වනු ඇති බවද එම තානාපති කාර්යාලය හා බුද්ධි අංශය පෙන්වාදී තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top