nsb

Jan 22, 2017

මහින්දගේ නන්දන ආණ්ඩුවේ කෙරුමන් සල්ලිවලට අරං! Featured

ජනාධිපතිවරයාගේ නියමයෙන් පසුගිය දා තාවකාලිකව ඉදිකිරීම් කටයුතු නවතන්නට යෙදුණු ටයර් කර්මාන්තශාලා ව්‍යාපෘතිය තුළ බරපතළ මූල්‍ය වංචාවක් සිදුව ඇති බවට සැක පහළ වී ඇතැයි වාර්තා වෙයි.

ඊට අදාළ සාක්ෂි ඇතුළත් පැමිණිලි කිහිපයක්ම මේ වන විට ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බව ද එම වාර්තා සඳහන් කර සිටියි.

එම ලැබී ඇති පැමිණිලිවලට අනුව රාජපක්ෂ රෙජීමයේ කළු සල්ලි සුදු කිරීමේ කටයුත්තේ නියුතු බවට බරපතළ චෝදනා ලබා සිටි කුප්‍රකට ව්‍යාපාරික නන්දන ලොකුවිතානට අයත් මෙම ටයර් කර්මාන්තශාලාව සඳහා බදු සහන ලබා දීමේ දී අත යට ගනුදෙනුවක් සිදුව ඇති අතර වත්මන් ආණ්ඩුවට සම්බන්ධ ප්‍රබලයන් පිරිසක් අග්‍රාමාත්‍යවරයා ද නොමඟ යවා මෙහි දී කටයුතු කර ඇති බවත් හෙළිව ඇත.

අගමැතිවරයා දැනුවත්ව සිට නැහැ !

ඊට අනුව අදාළ ටයර් කර්මාන්තශාලාව සඳහා මුල් ගල් තැබීම වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා එක්කර ගැනීමට මේ පිරිස් මුල් වී කටයුතු කර ඇත්තේ ඒ සඳහා එල්ල විය හැකි චෝදනාවලින් ගැලවීමට වන අතර අග්‍රාමාත්‍ය කාර්යාල ආරංචි මාර්ග ද තහවුරු කර සිටින්නේ අදාළ මුල්ගල් තැබීමේ කටයුත්ත සිදු වූ දින උදෑසන වන තෙක් මෙම කර්මාන්තශාලාව වෙනුවෙන් ආයෝජනය කර ඇත්තේ කවුද යන්න ගැන අග්‍රාමාත්‍යවරයා ද දැනුවත්ව සිට නැති බවය.

ඒ පිළිබඳ අග්‍රාමාත්‍යවරයාව දැනුවත් කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ හිතවතුන් පිරිසක් කටයුතු කර ඇති අතර එහි දී අදාළ උත්සවය සඳහා සහභාගී නොවන ලෙස ද ඔවුන් දැනුම් දී ඇත.

අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරන ලෙසට එහි දී අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය වී ඇත්තේ තමන් ද විශ්වාස කළ කිහිපදෙනකු මෙම ආරාධනාව යොමු කළෙන් ඊට සහභාගි වන බවත් ආයෝජනය සම්බන්ධ වැඩිදුර තොරතුරු ස්‌විට්සර්ලන්ත සංචාරය නිමවා පැමිණීමෙන් පසුව සලකා බලන බවත්ය.

අග්‍රාමාත්‍යවරයා සිය ස්‌විට්‌සර්ලන්ත සංචාරය නිමවා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක්‌ යෝජිත හොරණ ටයර් කම්හලේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අත්හිටුවීමට ජනාධිපතිවරයා ද තීන්දු කර ඇත්තේ ඒ අනුවය.

අක්කරය රුපියල් 100.00 කට !!

මේ වන විටත් ප්‍රසිද්ධ වී ඇති ආකාරයට කුප්‍රකට ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු වන නන්දන ලොකුවිතානට ටයර් කර්මාන්තශාලාවක් ඇරඹීම සඳහා හොරණ - වගවත්ත ආයෝජන කලාපයෙන් අක්කර 100 ක ඉඩමක් 99 වසරකට බදු දීම සිදුකර ඇත්තේ එක් අක්කරයක් සඳහා රුපියල් 100.00 ක බදු මුදලකටය.

ඒ අදාළ ආයෝජනය සඳහා නන්දන ලොකුවිතාන සිය සී/ස රිජිඞ් ටයර් (පුද්) සමාගම හරහා ඇමරිකානු ඩොලර් මිලියන 75ක් ආයෝජනය කිරීමට සූදානම්ය යන පදනමින්ය.

එහි දී සී/ස රිජිඞ් ටයර් (පුද්) සමාගම රජය සමඟ රුපියල් මිලියන 71ක එක්වර කල්බදු තැන්පතුවක් සහ වාර්ෂිකව රුපියල් 10,000ක නාමික කල්බදු වාරිකයක් වන සේ ගිවිසුමකට පැමිණ ඇත.

ඊට අනුව ඉඩම් අක්කරයක් සඳහා නාමික කල්බදු වාරිකය වන්නේ රු. 100කි.

අවුරුදු 99 ක කල්බදු : දොළොස් වසරක බදු සහන

එසේම සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මඟින් කල්බදු ක්‍රමය යටතේ ඉඩම් ලබා දෙන්නේ වසර 50 ක කාලයක් සඳහා පමණක් වුවත් ආර්ථික කළමනාකරණය සඳහා කැබිනට් අනුකමිටුව විසින් නන්දනගේ සමාගමට අවුරුදු 99 ක කල්බදු පහසුකමක් ලබා දී ඇත.

ඊට අමතරව දොළොස් වසරක ආදායම් බදු සහනයක් ද ලබා දී ඇත.

එමෙන්ම හොරණ වගවත්ත ආයෝජන කලාපයෙහි අක්කරයක වාර්ෂික බදු වටිනාකම රු. 578,000 ක් පමණ වන ඉඩම අක්කරය වාර්ෂිකව රු. 100 බැගින් හෙවත් 99.98% ක බදු සහනයක් යටතේ 99 අවුරුදු බද්දට අක්කර 100 ක් ම මෙම අරුම පුදුම ව්‍යාපාරිකයාට අරුම පුදුම ගිවිසුමකින් පවරා දීම ගැටලුසහගතය.

ඇත්තටම ලෝකයේ ලොකුම ලොතරැයිය ඇදුණා නම් මිස 1989 වසරේ නිෂ්පාදන සහකාරවරයකු ලෙස ඇමරිකානු ඩොලර් 225ක වැටුපකට ඩුබායි රාජ්‍යයේ සේවයට ගිය නන්දනට වසර කිහිපයකින් මේසා වත්කමක් උපයන්නට නොහැක.

ඔරුවල වානේ සංස්ථාව :

පසුගිය සමයේ ඔරුවල වානේ සංස්ථාව ද මිලදී ගන්නට තරම් නන්දනගේ වත්කම් බලවත් විය. ඊට රාජපක්ෂලාගේ පිටිවහල හිමි විය.

ඒ තුළ කොරියානු සමාගමකට හිමිව තිබුණු ඔරුවල වානේ සංස්ථාව මිල දී ගැනීමට නන්දනට හැකි විය.

නන්දනලාට සල්ලි ලැබුණේ කොහෙන්ද පමණක් නොව සජින් වාස් ගුණවර්ධන ද මහින්ද රාජපක්ෂ මහතා අගමැති වන සමය තෙක් ඩුබායි රාජ්‍යයේ රැකියාව කළ බවත් නන්දන සහ රාජපක්ෂලා අතර ගනුදෙනුව ඇති වන්නේ ද සජින් වාස් හරහා බවත් මතක් කරනවාට වත්මන් ආණ්ඩුවේ ඩීල් කාරයන් අකැමැතිය.

එසේම එදා මෙදාතුර රාජපක්ෂලා සහ නන්දන අතර වන ‘සමීප සම්බන්ධය’ නන්දන විසින් ද කොතැනකදීවත් ප්‍රතික්ෂේප කර නැත.

(සංජය ලියනගේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top