nsb

Jan 23, 2017

'බැඳුම්කරය' විමර්ශනයට ත්‍රීපුද්ගල ජනාධිපති කොමිසමක් ! Featured

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිදුවීම පිලිබඳව නැගී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ෂණ හා පරීක්ෂණ සිදුකර ඊට අදාල ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිසමක් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් නීතිපතිවරයාට උපදෙස් ලබාදී ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක්, මහාධිකරණ විනිසුරුවරයෙක් හා විගණන කටයුතු පිලිබඳ විශේෂඥවරයකුගෙන් සමන්විත මෙම ත්‍රීපුද්ගල ජනාධිපති කොමිෂන් සභාව පත් කිරීම පිළිබඳ ගැසට් නිවේදනය මේ සතියේදී නිකුත් වීමට නියමිතය.

මෙම කොමිෂන් සභාවේ නිර්දේශ සහිත වාර්තාව මාස තුනකින් තුළ සම්පූර්ණ කර අවසන් කළ යුතු වනු ඇත.

ඒ අනුව අදාළ ගැටලුව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම එසේ පත් කරනු ලබන ජනාධිපති කොමිෂන් සභාවෙන් අපේක්ෂා කෙරේ.

එම කොමිෂන් සභාවේ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන මෙන් ජනාධිපතිවරයා අදාළ සියළු අංශ වලින් ඉල්ලා සිටින බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

MaithripalaT 23 01 17

විශේෂඥ වාර්තාවක් :

ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන තිබෙන්නේ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධව විධිමත් පරීක්ෂණයක් සිදු නොකරන බවට ආණ්ඩුව වෙත දිගින් දිගටම එල්ල වන චෝදනා පදනම් කරගෙන, රජයේ වගකිවයුතු නිලධාරීන් ඇතුළුව මූල්‍ය උපදේශකවරුන් සමඟ දීර්ඝ වශයෙන් සිදු කළ සාකච්ඡාවලින් අනතුරුව ලබා දුන් වාර්තාවක් සැලකිල්ලට ගැනීමෙනි.

මහත් ආන්දෝලනයකට තුඩුදුන් බැඳුම්කර ගනුදෙනුවට සම්බන්ධ පර්පෙචුවල් ට්‍රෙෂරීස් (Perpetual Treasuries) සමාගමට අයත් ගිණුම් සියල්ල තාවකාලිකව අත්හිටුවීමට ද එම වාර්තාව මගින් යෝජනා කර තිබිණ.

එජාප මන්ත්‍රීවරුත් එකඟයි :

තව ද පසුගිය සතියේ ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණය ශක්තිමත් කිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවේ දී ද බැඳුම්කර ගනුදෙනුවට අදාළව ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකර ඇති අතර ඊට එක් වූ එජාප මන්ත්‍රීවරුන් ද අවධාරණය කර ඇත්තේ අග්‍රාමාත්‍යවරයාව ද සම්බන්ධ කර එල්ල වී ඇති එම චෝදනා ආණ්ඩුවට එරෙහිව බරපතළ අවියක් කරගෙන ඇති තත්ත්වය වළකා ගන්නට තමන්ට ද අවශ්‍ය බවය.

ඒ වෙනුවෙන් විධිමත් පරීක්ෂණයක් කඩිනමින් පැවැත්වීම අත්‍යාවශ්‍ය වන බවත් ඊට තමන් ද එකඟ බවත් ඔවුන් පවසා ඇත.

විවාදය හෙට :

මේ අතර මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සකස් කළ කෝප් කමිටුවේ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තු රැස්වීම පෙරවරු 9.30ට ආරම්භ වන අතර වාචික ප්‍රශ්න විමසීමේ කාලය අවසන් වීමෙන් පසු පෙරවරු 10.30 සිට රාත්‍රී 7.30 දක්වා විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

අදාළ වාර්තාව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් ඉකුත් ඔක්තෝබර් මාසයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබිය.

සබැඳි පුවත් :

බැඳුම්කර’ කොම්පැනියේ ගිණුම් අත්හිටුවේ?

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top