Jan 23, 2017

ත්‍රි’මල වරාය : රජය කී කතා ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි

ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීම ගැන ඉන්දීය රජය සමග සාකච්ඡා කළ බවට ශ්‍රී ලංකාවේ රජය විදේශ වලදී කර ඇති ප්‍රකාශ එරට රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

ලෝක ආර්ථික සමුළුවට සහභාගි වීමට ස්විට්සර්ලන්තයට ගොස් සිටින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද, විදේශ ප්‍රතිපත්ති සම්බන්ධ ජාත්‍යන්තර සමුළුවකට සහභාගිවෙමින් සිටි අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා ද  ප්‍රකාශ කොට තිබුනේ ත්‍රිකුණාමල වරාය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඉන්දියාව සමග සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.


ආයෝජනය කිරීමට බාධාවක් නැ:

ශ්‍රී ලංකාව චීනයට තවත් සමීප වීම නිසා ඉන්දියාවට ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඇති ඉඩකඩ ඇහිරී යාමේ අවදානමක් පිළිබඳව මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා කියා සිටියේ ඕනෑම විදේශීය සමාගමකට ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට බාධාවක් නැති බවයි.

“බෙංගාල බොක්කේ ප්‍රධානම වරාය ලෙස ත්‍රිකුණාමලය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන්ද අප ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටිනවා,” යි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය NDTV රූපවාහිනිය සමග ඩාවොස් නුවර පැවති විශේෂ සාකච්ඡාවකදී කියා සිටියේය.

ආන්ද්‍රා ප්‍රදේශයට නව අගනුවරක් නිර්මාණය කරන සුර්බානා ජුරෝන් සමාගම ඒ සඳහා සැලසුම් සම්පාදනය කරමින් සිටින බව ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

raisina dialogue

සරත් ෆොන්සේකා:


එයින් දිනකට පෙර ඉන්දීය විදේශ අමාත්‍යාංශය සහ ඔබ්සර්වර් සමීක්ෂණ පදනම හවුලේ දිල්ලියේ සංවිධානය කළ විදේශ ප්‍රතිපත්ති සමුළුවකට සහභාගි වෙමින් ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින්ද ත්‍රිකුණාමල සැලසුම ගැන ප්‍රකාශයක් කරන ලදී.

“සාකච්ඡා අවසන් අදියරකට ළඟාවී ඇති,” බව පෙර’පර දෙදිග රාජ්‍ය නායකයන් ඇතුළු රටවල් හැටකට වැඩි නියෝජිත පිරිසක් සහභාගිවූ “රෙසිනා සංවාදයේදී” දැනුම් දෙමින් හිටපු හමුදාපතිවරයා කියා සිටියේ ත්‍රිකුණාමල වරාය නාවික හමුදා කඳවුරක් සහ වාණිජ වරායක් බවට පත් කිරීම රජයේ සැලැස්ම බවයි.

කෙසේ වෙතත්, ත්‍රිකුණාමල වරාය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සාකච්ඡා කෙරෙමින් පවතින බවට කිරෙන ප්‍රකාශ ඉන්දීය බලධාරීන් විසින් තරයේ ප්‍රතික්ෂේප කොට තිබේ.

දීර්ඝ කාලීන වශයෙන් ලාබ ඉපැයීම කළ නොහැකි හෙයින් ඉන්දියාව ඒ ගැන උනන්දුවක් දක්වන්නේ නැතැයි එරට බලධාරීන් උපුටා දක්වන 'නිව් ඉන්දියන් එක්ස්ප්‍රස්' පුවත් පත වාර්තා කරයි.


මාධ්‍යවේදීන්ට දොස් කියයි :


ඉන්දු ලංකා සබඳතා සම්බන්ධයෙන් ගැටළු මවන බවට අගමැතිවරයා දොස් පවරා සිටියේ පෝක් සමුද්‍ර සන්ධිය දෙපස ජනමාධ්‍යවේදීන්ටය.

“ශ්‍රී ලංකාවේ මාධ්‍ය කියනවා එට්කා අත්සන් කළාම ඉන්දියාව අපිව ගිල ගන්නවා කියලා. ඉන්දීය මාධ්‍ය කියනවා ඔබ රට චීනයට විකුණලා කියලා. ශ්‍රී ලංකාව දන්නවා තමන්ගේ ස්වෛරීත්වය ආරක්ෂා කරගන්නේ කොහොමද, ලෝකයේ අනික් රටවල් සමග සම්බන්ධතා පවත්වාගෙන යන්නේ කොහොමද කියලා,” යි අගමැති රනිල් වික්‍රමසිංහ NDTV රූපවාහිනිය හා පවසා සිටියේය.

(radiogagana)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top