nsb

Jan 23, 2017

'අර්ජුන පදවි දැරීම ජනපති අනුමත කරන්නේ නෑ' Featured

රාජ්‍ය ආයතන කිහිපයක් විසින් පවත්වන ලද පරීක්ෂණවලින් බරපතල චෝදනා එල්ල වී තිබෙන මහ බැංකුවේ හිටපු අධිපතිවරයා තවදුරටත් රජයේ තනතුරු දැරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිසිසේත්ම අනුමත නොකරන බව ජනපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින අර්ජුන මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යංශයේ උපදේශකවරයා වශයෙන් තවමත් මහ බැංකුවට උපදෙස් දෙන බවට 'දූෂණ විරෝධී පෙරමුණ' එල්ල කරන චෝදනාව පිළිබඳව 'බීබීසී සංදේශය' සමග අදහස් දක්වමිනි.

බැඳුම්කර ගනුදෙනුව විමර්ශනය කිරීම පිණිස විශේෂ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත්කිරීම අගය කරන බව 'බීබීසී සංදේශය' සමග සාකච්ඡාවකට එක්වෙමින් සඳහන් කළ 'දූෂණ විරෝධී පෙරමුණේ' උපදේශක රජිත් කීර්ති තෙන්නකෝන් මහතා, මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේද සහභාගිත්වයෙන් මුදල් අමාත්‍යංශයේ පැවැත්වෙන රැස්වීම්වලට මහ බැංකුවේ හිටපු අධිපතිවරයා සිරිතක් වශයෙන් සහභාගිවන බව ද සඳහන් කරයි.

එම රැස්වීමේදී සිරිතක් වශයෙන් අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා මූල්‍ය මණ්ඩලය විසින් ගත යුතු තීන්දු සහ තීරණ සම්බන්ධයෙන් ආචාර්ය කුමාරස්වාමි මහතා වෙත උපදෙස් ලබා දී ඇති බවද දූෂණ විරෝධී පෙරමුණ පවසයි.

සාමාන්‍ය සම්ප්‍රදාය ?

ඒ පිළිබඳව තමන්ට ද තොරතුරු ලැබී තිබෙන බව පවසන ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතා, රාජ්‍ය නිලධාරියකුට කිසියම් චෝදනාවක් එල්ල වූ අවස්ථාවක ඒ සම්බන්ධ පරීක්ෂණ අවසන්වන තුරු සිය රාජකාරියෙන් තාවකාලිකව ඉවත්වීම සාමාන්‍ය සම්ප්‍රදාය බව පෙන්වා දෙයි.

"මේ පූර්වාදර්ශය අර්ජුන් මහේන්ද්‍රන් මහත්තයටත් අදාළයි. මොකද ඔහු හිටපු රාජ්‍ය සේවකයෙක්," යයි ඔහු පැවසීය.

එසේනම් දූෂණ විරෝධී පෙරමුණ ඉල්ලා සිටින පරිදි මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මුදල් අමාත්‍යාංශයේ උපදේශක ලෙස මහා භාණ්ඩාගාරය සමග කටයුතු කිරීම නවතා දැමීමට කටයුතු කරන්නේ දැයි විමසූ අවස්ථාවේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා කියා සිටියේ, 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාර ඒ බලය පවතින්නේ මුදල් අමාත්‍යවරයා සහ අගමැතිවරයා සතුව බවය.

අදාළ චෝදනාව සම්බන්ධයෙන් විමසීම සඳහා මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇමතූ විට මේ අවස්ථාවේ කාර්ය බහුල බැවින් පසුව අමතන මෙන් ඉල්ලා සිටියේය.


(බිබිසි සංදේශය)


සබැඳි පුවත් :

අර්ජුන තාමත් මුදල් අමාත්‍යංශයේ හොරගල් අහුලනවා !

'බැඳුම්කරය' විමර්ශනයට ත්‍රීපුද්ගල ජනාධිපති කොමිසමක් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top