nsb

Jan 24, 2017

උතුර භාර පොලිස් ලොක්කාට පොලීසියෙන් පැමිණිල්ලක්!

නව වසරේ උදාවත් සමඟ උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර මහතා ඔහුගේ නිල නිවසට ‘තුටු පඬුරු’ ගෙන්වා ගැනීම පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හරහා විශේෂ විමර්ශනයක් පවත්වන ලෙස උතුරු පළාතේ ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියකු වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ටී.එම්.ඩබ්.ඩී. තෙන්නකෝන් මහතා වෙත පැමිණිලි කර තිබේ.

වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරියකු පැවසුයේ, 2017 ජනවාරි මස 17 වන දින වව්නියාව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ දී අදාළ පැමිණිල්ල සටහන් කර ගත බවයි.

 පැමිණිල්ල පොලිස්පතිතුමා හරහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යොමු කරන ලෙස ද එම පැමිණිල්ල ඉදිරිපත් කල කිලිනොච්චි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පාලිත සිරිවර්ධන මහතා, වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත.

පොලිස් ස්ථාන 40කින් ‘තුටු පඬුරු’ :

වව්නියාව, කිලිනොච්චිය, මන්නාරම, මුලතිව්, යාපනය, කන්කසන්තුරේ යන පොලිස් බල ප්‍රදේශ තුළ පොලිස් ස්ථාන හතළිහකින් පමණ ජනවාරි 01, 02 සහ 03 යන දිනවල නියෝජ්‍ය පොලිස්පති තම නිල නිවසට ‘තුටු පඬුරු’ ගෙන්වාගෙන ඇති අතර ඒවායේ දඩමස්, රට බීම, චීස්, පලතුරු, විසිතුරු භාණ්ඩ, ආභරණ, ගෘහ උපකරණ සහ තෑගි භාණ්ඩ තිබූ බව පොලිස් ස්ථානාධිපතිවරු සඳහන් කරති.

උතුර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උත්සව කටයුතු සංවිධානය කිරීමේ දී ලබාගත් මුදල් පිළිබඳවත් සංග්‍රහ කටයුතු සඳහා පොලිස් කණිෂ්ඨ නිලධාරීන්ගේ භෝජනාගාර අත්තිකාරම් වලින් මුදල් ගෙවා ඇති ආකාරය පිළිබඳවත් වැඩිදුරටත් පැමිණිල්ලේ සඳහන් වන අතර උතුරු පළාතේ පොලිස් නිලධාරීන්ට අපරාධ පිළිබඳව උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව අහිමි කිරීම පිළිබඳව ද උතුර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට චෝදනා එල්ල වී ඇත.

(දයා නෙත්තසිංහ)


වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට කල පැමිණිල්ලේ පිටපතක් පහත දැක්වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top