15976 BM WEB BANNER 01
Jan 25, 2017

රටම ගඳ ගස්සන 'ආවේනික අංගයක්' ?

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මාරුවෙන් මාරුවට රට පාලනය කරමින් දූෂණ වංචා සිදු කර “රටම ගඳ ගස්සන” බව විපක්ෂ නායකවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසිය.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සමයේ මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇතැයි කියන වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටුව විසින් සිදුකළ පරීක්ෂණයේ වාර්තාව පිළිබඳ ආරම්භක දින විවාදයට සහභාගිවෙමින් දෙමළ ජාතික සන්ධානයේ නායකයා කියා සිටියේ දූෂණය ශ්‍රී ලංකාවේ “ආවේනික අංගයක්” වී ඇති බවයි.

රටේ ප්‍රධාන පක්ෂ දෙකම විරුද්ධ පක්ෂයේ සිටියදී අනිකාට එරෙහිව චෝදනා නැගුවත් බලයට ආ පසු කිසිවකුත් අධිකරණය හමුවට පමුණුවා දඬුවම් දී නැති බව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුව හමුවේ පෙන්නා දුන්නේය.


අතින’ත ගෙන :


ඔහුගේ බරපතල චෝදනාව වූයේ දූෂිත දේශපාලකයන් රැකීමට දෙපක්ෂයම හවුලේ කටයුතු කරන බවයි.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂයත් දුෂණය සම්බන්ධයෙන් අතිනත ගෙන කටයුතු කරන,” බව සම්බන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

පසුගිය රජයේ දුෂණ වංචා ගැන කතා කළත් ආණ්ඩුව බලයට පත්වී වසර දෙකක් ගතවීත් කිසිවකුටත් නඩු පවරා හෝ නැත්තේ හවුලේ කටයුතු කරන නිසාදැයි ඔහු සම්මුති ආණ්ඩුවෙන් විමසා සිටියේ දැඩි කලකිරීම් සහගත  ස්වභාවයෙනි.

“ඔබ ඔවුන් ආරක්ෂා කරනවාද, එහෙම නැත්නම් ප්‍රමාණවත්  සාක්ෂි නැද්ද?” යි විමසූ ඔහු ජනතාව මුලා කරන බවට ආණ්ඩුවේ පක්ෂ දෙකටම චෝදනා කළේය.


වරදකරු කවුරුන් වුවත් ...


පසුගිය ආණ්ඩු පාලන සමයේ සිට පක්ෂ දේශපාලනයේ නියැලීම ඇතුළු දූෂණ වංචා වලට සම්බන්ධ වීම නිසා මහ බැංකුව සිය කීර්ති නාමයට හානි පමුණුවාගෙන ඇති බව කී විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා, යෝජනා කොට සිටියේ ස්වාධීන සහ  අපක්ෂපාතී පරීක්ෂණ කොමිසමක් පත් කොට “වරදකරු කවුරුන් වුවත්” නඩු පවරා දඬුවම් කළ යුතු බවටයි.

(radiogagana)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top