nsb

Jan 26, 2017

බැඳුම්කර TV හා රේඩියෝ අවුලක ! Featured

දැනට පවතින ගුවන් විදුලි නාලිකා කිහිපයක් හා රූපවාහිනී නාලිකාවක් මහ බැංකු බැඳුම්කර හරහා උපයාගත් මුදල් යොදවා මිලදී ගැනීමට දරණ උත්සාහය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ජනපතිවරයාට නොදන්වා දැනට පවතින කිසිදු නාලිකාවක අයිතිය වෙනත් සමාගමකට හෝ පුද්ගලයකුට පැවරීම සිදු නොකරන ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට උපදෙස් දී ඇතැයි එම ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවතින්නේ ජනාධිපතිවරයා යටතේය.

මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට එහි සභාපතිවරයා වන ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා හා අධ්‍යක්ෂ ජනරාල් එම්.කිංස්ලි ප්‍රනාන්දු මහතා සම්බනධ කර ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක විය.

අප මේ සම්බන්ධයෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වැඩබලන අධ්‍යක්ෂ /  ස්පෙක්ට්රම් (Spectrum)  කළමනාකරණ ඊ.එන්.පී.කේ. රත්නපාල මහතාගෙන්ද දුරකථනයෙන් විමසා සිටි අතර, අදාළ කාරනාව ලිඛිතව ලියා එවන ලෙසත් ඒ අනුව එය අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත යොමුකර ඔහුගේ අවසර ලබාගෙන පිළිතුරක් ලබාදීමට කටයුතු කරන්නම් යැයි කියා සිටියේය.

කෙසේවුවද, බැඳුම්කර වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ මුදල් වෙනත් ගිණුම්වලට මාරු කිරීම තහනම් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම සමාගමට නියෝගයක්‌ පැනවීමත් සමඟ ඔවුන් විසින් අලුතින් ආරම්භ කිරීමට සැලැසුම් කළ පුවත්පත් සඳහාද එය බලපා ඇති බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

කෙසේවුවද, මේවන විට ශ්‍රී ලංකා මිරර් වෙත ලැබෙන ආරංචි මාර්ග අනුව බැඳුම්කර මුදල් මාධ්‍ය ආයතන දෙකක් සඳහා යෙදවීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම බැඳුම්කර වල මුදල් යෙදවීමට දිගින් දිගටම වෙළඳ දැන්වීම් ප්‍රචාරයකරනු ලබන්නේ අදාළ තත්ත්වය නිසා බව වාර්තා වේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top