Jan 26, 2017

කොහොමද ටිකිරි මොළේ"

ආණ්ඩුව සමග එක්වීම නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ට එල්ල කර තිබු චෝදනාවල පරීක්ෂණ කිසිවක් නවත්වා නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ආමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය තමන් ගැන ද පරීක්ෂණයක් පවත්වන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේ හෙට පැවත්වෙන එක්බද්ධ විපක්ෂයේ රැළියට පැමිණීමට නියමිතව සිටි රජයේ ආමාත්‍යවරුන්ට දුෂණ චෝදනා තර්ජනවලට මුහුණ දීමට සිදුවන නිසා රැළියට නොපැමිණෙන ලෙස හිටපු ජනාධිපතිවරයා කළ බව පවසන ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (ජන.26) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසුවේය.

රැළියට ආණ්ඩුවෙන් කිසිවකු නොපැමිණෙන බව දන්නා හිටපු ජනාධිපතිවරයා යොදාගත් උපක්‍රමය අද දින පුවත්පත් කාටුනයක "කොහොමද ටිකිරි මොළේ" ලෙස සඳහන් වූ බව අමාත්‍යවරයා පෙන්වා දුණි.

දෙපැත්තම "නා ගත්" බව:

පසුගිය රජය සමයේ දුෂණ චෝදනා එල්ලවූ ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවනු නොදුටු බව ප්‍රශ්න කළ විට අමාත්‍යවරයා පැවසුවේ තම කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකුගේ ගුවන් ගමන් බලපත්‍ර පවා මේවන විට තහනම් කර ඇති බවය.

පසුගියදා පැවති බැඳුම්කර විවාදයේදී ආණ්ඩුව සහ විපක්ෂය අසාර්ථක වූ බවට ජනාධිපතිවරයා පැවසුවේ දෙපැත්තම "නා ගත්" බව පවසමිනි.

ඒ පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් මාධ්‍ය හමුවට එක්වූ සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පැවසුවේ නා ගත් අයුරු පෙන්වුයේ මාධ්‍ය බවය.

කරුණු සහගතව කළ ප්‍රකාශ මාධ්‍ය විකාශනය නොකළ බව ඔහුගේ අදහස විණි.

(බීබීසී සංදේශය)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top