Jan 27, 2017

ඇත්ත කියන්නේ කව්ද ? - මලික්-සාගල ගැටුම දුරදිග යයි! Featured

හොරණ ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිකිරීමේ ව්‍යාපෘතියට ආයෝජනය කළ නන්දන ලොකුවිතාන නමැති ව්‍යාපාරිකයා කවුරුන් දැයි යන්න අගමැතිවරයා විසින් දැන ගනු ලැබුවේ කර්මාන්ත ශාලාවට මුල් ගල් තැබූ දින උදෑසන බව තාමන්ට පැවසුයේ අගමැති කාර්ය මණ්ඩලයේ ප්‍රධානි, අමාත්‍ය සාගල සේනාරත්න මහතා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසීය.

ඔහු එබව සඳහන් කළේ, එදිනට පෙර එම ආයෝජකයා සම්බන්ධයෙන් අගමැති දැනුවත්ව නොසිටි බවට පසුගිය 25දා කොළඹ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඔහු විසින් කල ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා ඊයේ (26) නිකුත් කර ඇති නිවේදනය පිළිබඳව කළ විමසීමේදීය.

හොරණ කර්මාන්ත කලාපයේ ටයර් නිෂ්පාදන ව්‍යාපෘතියේ ආයෝජකයා පිළිබඳව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුවත්කර තිබූ බවත්, අදාළ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සාවද්‍ය පුවත් පළවී ඇති අතර ඊට අදාළව රාජිත සේනාරත්න ඇමතිවරයා කළ ප්‍රකාශය ද සාවද්‍ය බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ නිවේදනයේ සඳහන්වේ.

අක්කරයක් රු 100යි ?

තවද, මීට අදාළ ඉඩම හඳුනාගැනීම හා ව්‍යාපෘතියට ලබාදෙන සහන හා අනෙකුත් කොන්දේසි සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩල සන්දේශ ඉදිරිපත් කරන ලද බවත් ආර්ථික කළමනාකරණය සඳහාවු අමාත්‍ය මණ්ඩල අනුකමිටු රැස්වීම් කිහිපයකදී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡාකිරීමෙන් අනතුරුව අදාළ අනුමැති ලැබී ඇති බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සඳහන් කරයි.

"එම ව්‍යාපෘතිය සඳහා අක්කරයක් සඳහා රු. 100 ක මුදලකට භූමිය ලබා දී ඇති බවට සඳහන් ප්‍රකාශය සාවද්‍ය කරුණකි. මෙම භූමිය රජයේ ප්‍රධාන තක්සේරුකරු විසින් රු. 170,825,000 ට තක්සේරු කර තිබූ අතර එම මුදල ආරම්භයේදී එකවර ගෙවීමට ආයෝජකයා විසින් කැමැත්ත පළ කර ඇත.

මීට අමතරව ආයෝජකයාගෙන් ඉඩම සඳහා රු.10,000 ක වාර්ෂික ගාස්තුවක් අයකර ගැනීමට රජයේ තක්සේරුකරු විසින් වැඩිදුරටත් දන්වා ඇත." යනුවෙන් ද එම නිවේදනයේ දැක්වේ.

'ඉඩමට 10,000 කියන්නේ අක්කරයට 100යි ':

එසේ ආයෝජකයාගෙන් ඉඩම සඳහා රු.10,000 ක වාර්ෂික ගාස්තුවක් අයකර ගන්නේ නම් ලබාදීමට නියමිත ඉඩම් අක්කර ගණන හා සැසදීමේදී එහි අක්කරයක් ලබාදෙන්නේ රුපියල් 100 කට බව තමා කල ප්‍රකාශය නිවැරදි බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 'ශ්‍රී ලංකා මිරර්' වෙත පැවසිය.

කෙසේවුවද රජයේ ඉඩම් අක්කරයක් රුපියල් 10,000 ක වාර්ෂික ගාස්තුවකට හෝ ලබාදීමට නොහැකි බව ඔහු අවධාරණය කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතම මිතුරන් වන සාගල රත්නායක මහතා සහ මලික් සමරවික්‍රම මහතා අතර මේවනවිට පෞද්ගලික ගැටුමක් පවතින බව අගමැති කාර්යාල ආරංචිමාර්ග පවසයි.

එම ආරංචිමාර්ග වලට අනුව රාජපක්ෂ රෙජීමයේ කළු සල්ලි සුදු කිරීමේ කටයුත්තේ නියුතු බවට බරපතළ චෝදනා ලබා සිටින කුප්‍රකට ව්‍යාපාරික නන්දන ලොකුවිතාන නැමැත්තාට මලික් සමරවික්‍රම ඇමතිවරයා හඳුන්වා දී ඇත්තේ හිටපු අධීක්ෂණ මන්ත්‍රීවරයකු වූ සජින් වාස් ගුණවර්ධන මහතාය.


සබැඳි පුවත්

"ටයර් කම්හලේ හිමිකරු ගැන අගමැති දැන සිටියේ නැ" -රාජිත

මහින්දගේ නන්දන ආණ්ඩුවේ කෙරුමන් සල්ලිවලට අරං!

අගමැති නැති අතරේ ජනපති බරපතල තීන්දුවක් ගනී !

රාජපක්ෂ 'හිතවාදී' ලොකුවිතාන, රනිල් සරණ ගිහින් !

නන්දන ලොකුවිතානට යහපාලනයෙනුත් ලොකු සැලකිලි

පැනමා පිටු අතරට ගිය මැදවච්චියේ ලොකුවිතාන

ඩුබායි මැරියන් මගේ නෙමෙයි' -මහින්ද 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top