Jan 28, 2017

සත්‍ය සෙවීමේ කොමිසම මාර්තුවේ (වීඩියෝ)

යුද්ධයේ සිදුවූ අපරාධ පිළිබඳ සත්‍යය සොයාගැනීම සඳහා ජිනීවා යෝජනාව ප්‍රකාර පත් කරන කොමිසම සඳහා මාර්තු මාසයේ කැබිනට් අනුමැතිය ලැබීමට නියමිත බව විදේශ අමාත්‍යවරයා උතුරේදී ප්‍රකාශයට පත් කර තිබේ.

විදේශ අමාත්‍යාංශයේ ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලයක් යාපනයේ විවෘත කිරීම වෙනුවෙන් රැස්වූ උත්සව සභාව අමතමින් මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ කොළඹ විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිනි මහාචාර්ය සාවිත්‍රි ගුණසේකරගේ ප්‍රධානත්වයෙන් සත්‍ය කොමිසම් පත් කෙරෙනු ඇති බවයි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජිනීවාහිදී ඔක්තෝබරයේ සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අත් කරගෙන තිබෙන ප්‍රගතිය ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ඊළඟ සැසිවාරය පැවැත්වෙන මාර්තුවේදී විමසා බැලීමට නියමිතය.

පසුගිය අවුරුද්දේ අගෝස්තුවේ පාර්ලිමේන්තුවට යෝජනා කෙරුනු අතුරුදහන් වුවන් පිළිබඳ කාර්යාලයත් (OMP) හැකිතාක් ඉක්මනින් ක්‍රියාකාරීව ආරම්භ කරන බව ද විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරද්දී අතුරුදහන් වුවන්ගේ ඥාතීන්ගේ වව්නියාව සත්‍යග්‍රහය එය අවසන් වූ සිව්වැනි දිනයට එළැඹ තිබුනි.

යුක්තිය පසිඳලීම, වන්දි ගෙවීම, නැවත ප්‍රචණ්ඩත්වය ඇති නොවීමට වග බලා ගැනීම සඳහාද යාන්ත්‍රණ පිහිටුවීම ද ඉදිරි කාලයේ සිදුවනු ඇති බවට අමාත්‍යවරයා විශ්වාසය පළ කළේය.

අපේම දූ පුතුන් :

“යුද්ධයේදී මැරුනේ අපේම ශ්‍රී ලාංකීය දූ පුතුන්,” යැයි කී විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා, වාර්ගික පටලැවිල්ල විසඳීමට හැකි උපරිම උත්සාහය දරන අයෙක් ලෙස සභාව හමුවේ හඳුන්වා දුන් උතුරේ මහ ඇමැතිවරයා සහෝදරත්වය සහ අන්‍යොන්‍ය අවබෝධය වැඩි කර ගත හැකි කටයුත්තක් ලෙසින් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටියේ ආයෝජන හා කුසලතා අද්දවා ගැනීම වෙනුවෙන් විදේශගත දෙමළ සංවිධානවලට රට තුල පනවා තිබෙන තහනම ඉවත් කරන ලෙසයි.

දෙමළ ඊළම් විමුක්ති කොටි ඇතුළු සංවිධාන අටක තහනම තව දුරටත් පවත්වාගෙන යමින් රජය විසින් 2015 නොවැම්බරයේ තවත් දෙමළ සංවිධාන අටකත් පුද්ගලයන් 267 දෙනකුගේත් තහනම ඉවත් කරන ලදී.

තහනම් කර තිබූ දෙමළ සංවිධාන බොහොමයක් “ප්‍රචණ්ඩත්වයට හා ත්‍රස්තවාදයට කිසි දින යොමු වී නැති” බවරජය ඒ අවස්ථාවේ නිවේදනය කර තිබුනි.

යුක්ති සහගත විදියට නොවෙයි :

තහනම් පනවා ඇත්තේ කිසිදු යුක්ති සහගත ක්‍රමවේදයක් යොදා ගනිමින් නොවන බව මහ ඇමැති සී වී විග්නේස්වරන් මහතා ආරක්ෂක ලේකම්වරයාද සහභාගි වූ උත්සව සභාව අමතා කියා සිටියේය.

“අපේ ජනතාව දෙස ත්‍රස්තවාදී දෘෂ්ඨි කෝණයකින් බැලීම නතර කළ යුතුයි. මුදල් අහේනියෙන් පෙලෙන අපේ ආණ්ඩුවට උදව් කිරීමට ඩයස්පෝරාව හදා වඩා ගෙන, ඔවුන්ට ද්විත්ව පුරවැසි භාවය ලබා දී අපේ ඉදිරි දියුණුව සඳහා ඔවුන්ගේ දක්ෂතා සහ ධන සම්පත පාවිච්චි කළ යුතුයි,” යනුවෙන් මහ ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

බලය විමධ්‍යගත කිරීම:

ශ්‍රී ලංකාවේ වධක සංස්කෘතියක් පවත්වාගෙන යන බවට නීතිය හා යුක්තිය පසිඳලීමේ ආයතන දැඩි දෝෂ දර්ශනයට ලක් කරමින් වධහිංසා සහ අනෙකුත් කුරිරු අපරාධ සම්බන්ධයෙන් විමසන එක්සත් ජාතින්ගේ විශේෂ නියෝජිතයා විසින් එලි දක්වා ඇති නවතම වාර්තාව උතුරේ මහ ඇමැති විසින් අගය කරන ලදී.

“භුමියේ තත්වය වාර්තාවෙහි මැනවින් නිරුපනය වෙනවා,” යි ඔහු විදේශ අමාත්‍යවරයා හමුවේ කියා සිටියේය.

දෙමළ ජනතාවට තම කටයුතු නිදැල්ලේ කරගෙන යාම සඳහා බලය විමධ්‍යගත කෙරුනු දේශපාලන විසඳුමක අවශ්‍යතාව උතුරේ මහ ඇමැති වරයා මෙන්ම විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා විසින්ද දැඩි සේ අවධාරණය කරන ලදී.

බහුතරයක් දෙමළ ජනතාව වෙසෙන පළාත් වල අනන්‍යතාව පිළිගෙන “වඩාත් සහෝදරත්වයෙන් ජීවත් වීමට ඉඩ සැලසෙන පරිදි” ඉක්මනින් බලය විමධ්‍යගත කරන ලෙස මහ ඇමැති විසින් ඉල්ලා සිටින ලදී.

සිදුවූ ආකාරයේ විනාශයක් නැවත සිදු නොවීම සහතික කෙරෙන නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ අවසන් අදියරට ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ලඟාවී සිටින බව ඒ අවස්ථාවේ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සභාව හමුවේ දැනුම් දුන්නේය.

(radiogagana)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top