Jan 28, 2017

තාජුදීන් ඝාතනයට ශිරන්ති CIDය ට Featured

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයට ලක් වූ දා රාත්‍රියේ, හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂගේ හැසිරීම, මේ වන විට ඝාතනය පිළිබඳ පරීක්ෂණ පවත්වන රහස් පොලිස් කණ්ඩායමේ ප්‍රබල සැකයට භාජනය වෙමින් පවතින බව පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසීය.

මෙම පරීක්ෂණ කණ්ඩායම විසින් අරලියගහ මන්දිරයේ දුරකථන අංක පිළිබඳව වාර්තා මාස කිහිපයක සිට විමර්ශනය සඳහා ඉල්ලා ඇතිමුත්, හිටපු ජනාධිපතිගේ මෙන්ම වත්මන් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව භාරව සිටින ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම නිසා එම දුරකථන අංක පිළිබඳ විස්තර ලබා දීම හිතාමතාම ප්‍රමාද කොට තිබුණ බව එම නිලධාරියා පවසයි.

එහෙත් පසුගිය දා වික්‍රමසිංහ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මෙම බාධා කිරීම් පිළිබඳව රහස් පොලීසිය විසින් අධිකරණය දැනුවත් කිරීමෙන් අනතුරුව එකී තොරතුරු වහා ලබා දෙන ලෙස මහෙස්ත්‍රාත්වරයා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානියා වෙත නියෝග කර තිබේ.

ශිරන්තිගේ ඇමතුම් 41 ක් බැහැරට :

එකී තොරතුරු ලැබීමෙන් අනතුරුව දුරකථන අංක පරීක්ෂා කර බැලීමේ දී විමර්ශන කණ්ඩායමට පෙනී ගොස් ඇත්තේ ඝාතනය සිදු වූ දා රාත්‍රියේ අරලියගහ මන්දිරයේ එක් දුරකථනයකින් ඇමතුම් 41 ක් බැහැරට ගොස් ඇති බවයි.

වැඩිදුරටත් විමර්ශනය කිරීමේ දී අදාළ දුරකථනය හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය පෞද්ගලිකව පාවිච්චි කළ දුරකථනය බව තහවුරු වී ඇත.

මෙම දුරකථන ඇමතුම්වලින් වැඩි ප්‍රමාණයක් එවක නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනයටත් එවක ගල්කිස්ස මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකථනයටත් මධ්‍යම රාත්‍රිය ඉක්වමා යනතෙක් ලබා දී තිබීම රහස් පොලීසියේ විශේෂ අවධානයට ලක්ව තිබේ.

ජනපතිගෙන් බාධා !

මේ පිළිබඳව පැහැදිලි කරගැනීම සඳහා නුදුරේදීම හිටපු ජනාධිපති ආර්යාව රහස් පොලීසිය වෙත කැඳවීමට නියමිත වේ.

මීට පෙර අවස්ථාවක හිටපු ජනාධිපති ආර්යාව රහස් පොලීසිය මඟින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ දී වත්මන් ජනාධිපතිවරයා විසින් ඒ වළක්වනු ලැබූ අතර ඇයගෙන් කටඋත්තර ලබා ගැනීම සඳහා රහස් පොලීසියට ඇයගේ නිවසට යාමට සිදු විය.

(ඩී. මංජුල කුමාර)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top