nsb

Jan 28, 2017

මහින්ද ඇතුළු නඩයෙන් 'ශ්‍රී ලන්කන්'ට කෝටි 11ක පොල්ලක් Featured

පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ සිට රාජපක්ෂ පාලනය විසින් රුපියල් එකොළොස් කෝටි තිස්පන් ලක්ෂයකට අධික මුදලක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට නොගෙවා පැහැරහැර ඇතැයි වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිවරයා ඇතුළුව ඔහුගේ පරිවාර පිරිස් සිදු කළ සංචාර සඳහා ණය පදනම මත වෙන්කර ගත් ගුවන්යානා සහ ගුවන් ප්‍රවේශ පත්‍ර සඳහා මෙම මුදල් ගෙවීමට නියමිතව තිබී ඇත.

2014- 12-10 ජී. එල්. පීරිස් හිටපු අමාත්‍යවරයා ඇතුළු කණ්ඩායමක් කත්මන්ඩු බලා සිදු කළ සංචාරය, 2014-12-15 මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් සිදු කළ කත්මන්ඩු - මාලදිවයින් සංචාරය, 2014-12-18 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් සිදුකර ඇති තිරුපති සංචාරය, 2014-12-31 තිස්ස අත්තනායක ඇතුළු පිරිසකගේ තිරුපති සංචාරය ඇතුළු පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ සිදු කළ සංචාර කිහිපයක් ඒ අතර ඇත.

එසේම 2014-07-12 වන දා මාලදිවයින හරහා සී ෂෙල්ස් රාජ්‍යය වෙනුවෙන් වෙන් කරවා ගත් ගුවන් යානය හිටපු ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් වෙනුවෙන් ඉන්වොයිස් අංක 11938 යටතේ වෙන් කරගෙන සංචාරය සිදුකර ඇතත් එහි ගමන් කළේ කවුද යන්න පිළිබඳ විස්තරයක් පවා ලබා දී නැති බව ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

එසේම මෙම ණය පදනමින් සිදුකර ඇති නමුත් ගෙවීම් පැහැරහැර ඇති සංචාර සම්බන්ධ තොරතුරු ඇතුළත් වාර්තාවක් මේ වන විට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා වෙත ලබා දීමට ශ්‍රී ලන්කන් ගුවන් සමාගම කටයුතු කර ඇති අතර ඒ සම්බන්ධව ඉදිරියේ දී නෛතික ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට නියමිතව ඇති බව ද වාර්තා වේ.

(සංජය ලියනගේ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top