15976 BM WEB BANNER 01
Jan 29, 2017

ජනමත විචාරණයකට කලින් ජනමත සමීක්ෂණයක් Featured

නව ව්‍යවස්ථාව පනත් කෙටුම්පතක් සම්පාදනය කර නොමැති අවස්ථාවක ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ හා ජාතිවාදී කොටස් ගෙන යන ප්‍රචාරය කිසිදු පදනමක් නොමැති වූවත් නව ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා ජනමත විමසුමකට යෑමට පෙර ජනතාවගේ කැමැත්ත සමීක්ෂණ මඟින් සොයා බලන ලෙස ජනාධිපතිවරයා, අගමැතිවරයාට උපදෙස් දී තිබේ.

එමෙන්ම මෙහි දී නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව හා එහි දී මහජනතාවට හිමි වන ප්‍රතිලාභය සම්බන්ධයෙන් වන ප්‍රචාරක ව්‍යාපෘතියට සමගාමීව අවස්ථා කිහිපයක දී මෙම ජනමත සමීක්ෂණ කිහිපයක් පැවැත්වීමට ද මෙහි දී යෝජනා වී ඇත.

මේ අතර පසුගිය ඉරිදා බත්තරමුල්ලේ වෝටර්ස් එජ් ශාලාවේ දී සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා විධායක බලය ඉවත් කිරීම සඳහා සූදානම් බවත් 19 වන සංශෝධන  ගෙන ඒමේ දී අධිකරණය මඟින් ඇතැම් බලතල ඉවත් කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව පැවසීම නිසා ඇතැම් බලතල ඉවත් කිරීමට නොහැකි වූ බවත් ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසා තිබිණි. 

ඒ සඳහා ජනවාරි අට වෙනස වෙනුවෙන් දායක වූ පුරවැසි බලය සාධාරණ සමාජයක් සඳහා ව්‍යාපාරය හා තවත් සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් දෙසීයක් පමණ සහභාගී වී සිටියහ.


 විරෝධතාවන්ට පදනමක් නැහැ :


මෙහි දී ඇමැති ජයම්පති වික්‍රමරත්න මහතා, නව ව්‍යවස්ථා කෙටුම්පතක් මෙතෙක් සකස් කර නොමැති බවත් විශේෂඥ තොරතුරු එක් කර ගැනීම සඳහා සිදු කළ අනුකාරක සභා වාර්තා 6 ක් පමණක් මේ වන විට 21 දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කර තිබෙන බවත් අවධාරණය කර තිබේ.

මෙහි දී රාජ්‍යයේ ස්වභාවය, බුද්ධාගම, මැතිවරණ ක්‍රමය, බලය බෙදාහැරීම, ඉඩම් ආදී සංවේදී කාරණා සම්බන්ධයෙන් මෙහෙයුම් කමිටුව විසින් තීන්දු තීරණ ගත යුතු බව පෙන්වා දී තිබේ.

මෙම මෙහෙයුම් කමිටුවට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂවල නියෝජනයක් තිබෙන බවත් ඉන් අනතුරුව එම කමිටුවේ තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දී පසුව නව ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සිදු වන බවත් පෙන්වා දී තිබේ.

මේ අනුව ඒකාබද්ධ විපක්ෂය විසින් ‘රනිල්ගේ ව්‍යවස්ථා මර උගුල පරදමු’ යනුවෙන් සිදු කෙරෙන විරෝධතාවන් හි පදනමක් නොමැති බව ද අවධාරණය කර ඇත.

පරදින ජනමත විචාරණයකට බැහැ :

කෙසේ නමුත් මෙහි දී සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් පෙන්වා දී ඇත්තේ නව ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීම පරාජයට හේතු නොවන බවය.

මෙහි දී පුරවැසි බලය නියෝජනය කරන ගාමිණී වියන්ගොඩ මහතා ජනමත විචාරණය පැරදුණත් නව කෙටුම්පත් ජනතාවට ඉදිරිපත් කිරීම වැදගත් බව පෙන්වා දී ඇත.

එහෙත් ශ්‍රීලනිප නියෝජිතයන් පෙන්වා දී ඇත්තේ පරදින ජනමත විචාරණයකට යා නොහැකි බවය. එය ආණ්ඩුවේ පැවැත්මට බරපතළ හානි ගෙන දිය හැකි බව එම කණ්ඩායම අවධාරණය කර තිබේ.

නව ව්‍යවස්ථාවට එරෙහිව මේ වන විට කරුණු දක්වන කණ්ඩායමේ ක්‍රියාකාරිත්වය ප්‍රබලව තිබිය දී ජනමත විචාරණයකට යාම මඟින් ව්‍යවස්ථාව කෙතරම් හොඳ වූවත් ඒ පරාජයට පත් විය හැකි බවත් විශේෂයෙන්ම ආණ්ඩු විරෝධී කොටස් නව ව්‍යවස්ථාව සම්බන්ධ කරුණු කාරණා සංවාදයට ගන්නවා වෙනුවට ආණ්ඩුවට එල්ල වී ඇති දූෂණ හා වෙනත් අසත්‍ය චෝදනා මත පදනම්ව ගැටලු මතු කිරීම මත ව්‍යවස්ථාව සම්බන්ධයෙන් වන සංවාදය යටපත් වී ඇති බවත් ඔවුන් පෙන්වා දී ඇත.

එම නිසා අනෙක් ප්‍රශ්න ඉක්මනින් විසඳාගෙන ජනමත විචාරණයට යෑම වඩා යෝග්‍ය බව ද එම පිරිසේ අදහස වී ඇත.

(සුභාෂ් ජයවර්ධන)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top