Jan 30, 2017

'මංගලගේ ඇමතිකම ශ්‍රීලනිපයට ගන්න' - දයාන්

අමෙරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීන්දුවල වාසිය ශ්‍රි ලංකාවට ලබා ගැනීමට නම් වත්මන් ආණ්ඩුවේ විදේශ අමාත්‍ය ධුරය ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතට ගත යුතු බව හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලක මහතා 'ගොසිප්' වෙබ් අඩවියකට පවසා ඇත.

වත්මන් විදේශ අමාත්‍යවරයාගෙන් එවැනි තත්ත්වයක් පෙනෙන්නට නොමැති බව ද ඔහු එම වෙබ් අඩවියට කියා තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගන්නා තීන්දු ඔස්සේ ශ්‍රි ලංකාවට වාසිදායක තත්ත්වයන් නිර්මාණය වීමේ ඉඩකඩක් ඇති බව ආචාර්ය දයාන් ජයතිලක පැවසු බවත්, ඔහු මෙම අදහස් පළ කළේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් ධුරයෙන් නිෂා බිෂ්වාල් හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අමෙරිකානු තානාපති ධුරයෙන් සැමන්තා පවර් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් බවත් එම 'ගොසිප්' පුවතේ දැක්වේ.

මෙම 'ගොසිප්' වෙබ් අඩවිය රාජ්‍ය මාධ්‍ය ආයතනයක ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයකු විසින් පවත්වාගෙන යන අතර, ආණ්ඩුවේ තරුණ ඇමතිවරයකු ඊට මුල්‍ය දායකත්වය ලබාදෙන බව පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top