nsb

Feb 01, 2017

වාහන ලියාපදිංචියේ දී 'මාෆියාවට' අල්ලස් දෙන්න වෙලා ! Featured

ආනයනය කරන ලද වාහන ලියාපදිංචියේ දී ශ්‍රී ලංකා රේගුව සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වගකීම් විරහිත ලෙස කටයුතු කිරීම නිසා, පෞද්ගලික වශයෙන් වාහන ආනයනය කරන ඇතැමුන් දැඩි පීඩාවකට ලක් වන බව වාර්තාවේ.

තීරු බදු සහන යටතේ වාහන ආනයනය කරන රජයේ නිලධාරීන් පවා පසුගිය කාලයේ මෙවැනි පිඩාවන්ට ලක්ව ඇත.

ආනයනය කරන ලද වාහනයක් වරායට ගොඩබෑමෙන් පසු එය වරායෙන් නිදහස් කරගැනීම සඳහා සම්පූර්ණ රේගු ගාස්තු හා සියලුම රජයේ බදු රේගුවට ගෙවිය යුතුය. එම ගාස්තුව රුපියල් මිලියන ගණනකි. 

රේගුවට අදාළ ගාස්තු ගෙවීමෙන් අනතුරුව වාහනයට අදාළ චැසි අංකය සඳහන් කර රිසිට්පතක් නිකුත් කෙරේ. 

අදාළ වාහනය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියේ දී නියමිත රේගු ගාස්තු ගෙවා ඇත්දැයි පරීක්ෂා කරන්නේ එම රිසිට්පතිනි. 

අනෙකුත් ලිපි ලේඛන සමඟ රිසිට් පත භාර දුන් පසුව රේගු පරිගණක ජාලයෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරිගණක ජාලයට අදාළ වාහනය පිළිබඳ තොරතුරු ලැබී ඇතිදැයි පරීක්ෂා කෙරේ.

එම සම්බන්ධිකරණ කටයුත්ත වෙනුවෙන්ම මෙම දෙපාර්තමේන්තු දෙක ඒකාබද්ධ කරමින් පරිගණක ජාලයක් ස්ථාපිත කර තිබේ.

තැරැව්කරුවන් හරහා යන අයට බාධාවක් නැ :
එහෙත්, බොහෝ අවස්ථා වලදී පරිගණක ජාල පරීක්ෂාවේ දී අදාළ දත්ත රේගුව විසින් ඇතුලත් කර නැතැයි හෝ ලබාදී ඇති රිසිට්පතේ චැසි අංකය වැරදි බව පවසමින් මෝටර් රථ ලියාපදිංචියට යන පිරිස් යළිත් වරක් රේගුවට හරවා යවන අතර, මේ නිසා ඔවුන්ට බලවත් පීඩාව විඳින්නට සිදුව ඇත.

රේගුවේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරි මාෆියාව විසින් සැලසුම් සහගතව පරිගණක ජාලයට තොරතුරු ඇතුළත් කිරීම ප්‍රමාද කරනවාද යන්න පිළිබඳ සැකයක් මතු වන බවත්, මෙවැනි ප්‍රමාද කිරීම් හා හරවා යැවීම් මඟින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අල්ලස් ලබා ගැනීමට උත්සාහ කරන බවත් ආනයනික මෝටර් රථ ලියාපදිංචිය සඳහා අදාළ ආයතන වෙත යන පිරිස් ප්‍රකාශ කර සිටිති.

ආනයනය කරන ලද වාහන ලියාපදිංචිය වෘත්තීය මට්ටමින් සිදුකරන තැරව්කරුවන්ට මෙවැනි බාධාවක් සිදුනොවීම එවැනි සැකයකට හේතුවී තිබේ.

(දයා නෙත්තසිංහ)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top