15976 BM WEB BANNER 01
Feb 01, 2017

බැඳුම්කරය : ජනාධිපති කොමිසම විමර්ශන අරඹයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර සිද්ධියේදී වංචාවක් සිදුව ඇත්දැයි විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පත්කළ ජනාධිපති කොමිෂන් සභාව අද (01) සිය විමර්ශන කටයුතු ආරම්භ කළේය.

මහ බැඳුම්කර ක්‍රියාවලියේදී නීතිවිරෝධී දුෂිත ක්‍රියාවක් සිදුව ඇත් ද එසේ නම් ඒ පිටුපස සිටින්නේ කවුද යන්නත් සොයා බලමින් මෙම ජනාධිපති කොමිසම මාස තුනකින් අවසන් වාර්තාව සැපයීමට නියමිතය.

සාමාජිකයන් තිදෙනකුගෙන් සමන්විත මෙම කොමිෂන් සභාව භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් අද (1) සිට මාර්තු මස 31 වැනිදා දක්වා විමර්ශන කටයුතු කිරීමට නියමිතය.

මෙම කොමිෂන් සභාව කේ.ටී. චිත්‍රසිරි සහ ප්‍රසන්න සුජීව ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගෙන් සහ විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේළුපිල්ලේ යන මහත්වරුන්ගෙන් සමන්විතය.

ජාතික අවශ්‍යතාවක් !


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති කොමිෂන් සභාවේ කොන්දේසි සහ නිර්දේශ සඳහන් කරමින් භාණ්ඩාගාර නිකුතුව සම්බන්ධයෙන් ජාතික අවශ්‍යතාවක් ඇතැයි යන මතයේ තමා සිටින බව සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් ඇති බවට බොහෝ පාර්ශව පෙන්වා දී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ගත් අනාගතයේදී එවැනි දේ සිදු නොවීම ගත යුතු ක්‍රියාමාර්ගත් මෙමඟින් අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා තවදුරටත් සඳහන් කර ඇත.
 
එම කරුණුවලට අමතරව භාණ්ඩාගාර නිකුතුව සිදු වූ සමයේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ කළමනාකරණ කටයුතු, පරිපාලන සහ එහි කටයුතු සහ හැසිරීම් සම්බන්ධයෙන් ද පරීක්ෂා කර බැලෙන අතරම එම සමයේදී අදාළ නීති රීති, ක්‍රියාපටිපාටි නොතකා හරිමින් ඕනෑම ආකාරයක අකටයුත්තක්, අක්‍රමිකතාවක් හෝ නීති විරෝධී ක්‍රියාවක් සිදු ව ඇත්දැයි විමර්ශනය කෙරේ.
 
බැඳුම්කර නිකුතුවේදී ගිවිසුම්ගත බැඳීමක් සිදු ව ඇත්ද හෝ ක්‍රියා කර ඇත්ද යන්න පිළිබඳවත් ශ්‍රී ලංකා මහ බැංකුව ද ඇතුළත්ව රජයට හෝ වෙනත් ඕනෑම ව්‍යවස්ථාපිත ආයතනකට හෝ හානි කිරීමේ අරමුණින් වංචනික ලෙස, නොසැලකිලිමත් ලෙස සහ වගකීම් විරහිතව ක්‍රියා කර ඇත්ද යන්න පිළිබඳවම මෙම ජනාධිපති කොමිෂන් සභාව විසින් විමර්ශනය කෙරේ.
 
 
වගකිව යුතු පුද්ගලයා ?


බැඳුම්කර නිකුතුව වෙනස් කිරීමේ ක්‍රියාවලියක් සිදුව ඇත් දගැන මෙන්ම ප්‍රශස්ත මිලක් හෝ රජයට ප්‍රතිලාභ ලැබීම සුරක්ෂිත කිරීම සඳහා නියමිත ක්‍රියාමාර්ග සහ ප්‍රමාණවත් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගෙන ඇත් ද යන්නම මෙන්ම එසේ නියමිත ක්‍රියාමාර්ග ගෙන නැතිනම් ඊට වගකිව යුතු පුද්ගලයා කවුරුන්ද යන්න සොයා බැලීම ද මෙම ජනාධිපති කොමිසමෙන් සිදු කෙරේ.
 
එමෙන්ම බලය අවභාවිත කිරීමක් ද සිදුව ඇත් ද බැඳුම්කර නිකුතුවේදී සහ එම කාල සමයේදී කවුරුන් හෝ ඊට බලපෑම් කර ඇත් ද මැදිහත් වී ඇත් ද වංචා, අක්‍රමිකතා සහ ඥාති සංග්‍රහයක් සිදුව ඇත් ද යන්නත් ඕනෑම ක්‍රියාවක් හෝ නොසලකා හැරීමක් සිදු ව ඇත් ද යන්නත් සොයා බැලේ.
 
බැඳුම්කර නිකුතුව ඇතුළු ක්‍රියාවලදී විනිවිදභාවයෙන් කටයුතු කරන්නේ කෙසේ ද වගවීමෙන් කටයුතු කරන්නේ කෙසේ ද අනාගතයේදී රජයට ප්‍රතිලාභ සැලසෙන අයුරින් සහ ප්‍රශස්ත මිල ගණන් යටතේ මෙවැනි ගනුදෙනු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ නිර්දේශ දෙන්නැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම කොමිසමට උපදෙස් දී ඇත.
 

ගත හැකි පියවර ?


“ශ්‍රී ලංකා මහ බැංකුව ද ඇතුළුව ඕනෑම අධිකාරියක් ව්‍යවස්ථාපිත සහ නීත්‍යානුකූල වගකීම් සහිත ආයතන කිසිම ආකාරයකින් බාධා හෝ බලපෑම් නොකරන බව” ජනාධිපතිවරයා පත් කළ බැඳුම්කර සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිෂන් සභාවේ කොන්දේසි සහ නිර්දේශ සඳහන් කර ඇත.

ජනාධිපති කොමිසමේ විමර්ශනය පැවැතිය ද අදාළ ආයතනවලට අදාළ නීති යටතේ ගත හැකි පියවර මොනවාද යන්න සලකා බැලීම සඳහා අදාළ බලය පැවැරී ඇත.


(ලංකාදීප)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top