nsb

Feb 01, 2017

ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්

ඉතියෝපියාව සහ ශ්‍රී ලංකාව අතර පවත්නා දේශපාලනික, වෙළඳ හා ආර්ථික සබඳතා පුළුල් කිරීම මෙන්ම, ඉතියෝපියාවේ අගනුවර වන අඩිස් අබාබා හි පිහිටා ඇති අප්‍රිකානු සංගම් මූලස්ථානය සමග සමීප සබඳතා ඇතිකර ගැනීමේ අරමුණින්, 2017 පෙබරවාරි 2 වැනි දින දෙරටේ විදේශ කටයුතු අමාත්‍යවරුන් අතින් ඉතියෝපියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විවෘත කිරීමට නියමිතය.

ඉතියෝපියාවේ විදේශ කටයුතු අමාත්‍ය ගරු ආචාර්ය වර්ක්නේ ගෙබෙයෙහු මහතාගේ ආරාධනයකට අනුව, ඉතියෝපියාවේ නිල සංචාරයක නිරතවන විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා, අද දින (31) අඩිස් අබාබා හි පිහිටි ඉතියෝපියානු පාර්ලිමේන්තුවේදී එහි කථානායක ගරු අබදුලා ගෙමෙදා මහතා බැහැ දැකීය.

ශ්‍රී ලංකාවේ වර්තමාන සමාජ-දේශපාලනික මෙන්ම ආර්ථික ප්‍රවණතා පිළිබඳව පැහැදිලි කළ අමාත්‍ය සමරවීර මහතා, නොසැළෙන, ස්ථාවර, ප්‍රගතිශීලී හා සාමය අගයන ජාතියක් බිහිකිරීම වෙනුවෙන් වූ ජාතික ආණ්ඩුවේ ඉදිරි දැක්ම පිළිබඳව ද කථානායකවරයා දැනුවත් කළේය.

අප්‍රිකානු සංගමයේ මූලස්ථානය වශයෙන් මෙන්ම අප්‍රිකාවේ රාජ්‍යතාන්ත්‍රික අගනුවර වශයෙන් සමස්ථ අප්‍රිකාවේ අනාගතය රඳා පවත්නා ඉතියෝපියාව තුළ නේවාසික රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩලයක් ආරම්භ කිරීමේ යුක්ති යුක්තභාවය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

දෙපාර්ශවයේ පාර්ලිමේන්තු අතර අනාගත සහයෝගීතාව ඇති කිරීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කළ ඔවුහු දිගුකාලීන මිත්‍රශීලී ද්වීපාර්ශ්වික සබඳතා තර කිරීම උදෙසා සමීපව කටයුතු කිරීමේ අවශ්‍යතාව තහවුරු කළහ.

අමාත්‍ය සමරවීර මහතා හෙට දින (01) අඩිස් අබාබා හි දී ඉතියෝපියානු විදේශ කටයුතු අමාත්‍ය ගරු ආචාර්ය වර්ක්නේ ගෙබෙයෙහු මහතා හමුවීමෙන් අනතුරුව ඉතියෝපියානු ජනාධිපති අති ගරු මුලතු තෙෂෝම් මහතා බැහැ දැකීමට ද නියමිතය.

Pic 001

pic 002

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top