Feb 01, 2017

හැරිසන් 'ටොප් ටෙන්' දුෂිතයින්ගේ ලැයිස්තුවට Featured

ඒකාබද්ධ විපක්ෂය අද (01) සිය ටොප් ටෙන් ලැයිස්තුවේ හත්වැන්නා අනාවරණ කළේය. ඒ, කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදීය.

ටොප් ටෙන් ලැයිස්තුවේ හත් වැන්නා ලෙස ඒකාබද්ධ විපක්ෂය අද චෝදනා එල්ල කළේ අමාත්‍ය පී හැරිසන් මහතාටය.

“රුපියල් 50 ට මිනිස්සු වී ඉල්ලනකොට රුපියල් 24 ට සත්ව ආහාර සඳහා ඇමතිවරයා දෙනවා. වී කිලෝ එකකින් රුපියල් 26 කට වැඩි පාඩුවක්..මිලියන තිස්හයදාහක් රජයට පාඩු වෙනවා මේකෙන්.

අනෙක් අතට එසේ සත්ව ආහාර ලෙස රුපියල් 24ට වී ලබාගන්න සමාගම් එම වී රුපියල් 35ට වෙළඳ පලට නිකුත්කර රුපියල් මිලියන 11,000ක අයුතු ලාභයක් උපයාගෙන තියනවා ” යයි එම මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේය.

අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට ගොස් අමාත්‍ය පි. හැරිසන් මහතාට එරෙහිව පැමිණිල්ලක්ද ගොනු කළේය.

දෙකෙන්ම අස්වෙනවා :

මේ අතර ඒකාබද්ධ විපක්ෂය එල්ල කළ මෙම චෝදනාවට අමාත්‍ය පි. හැරිසන් මහතා අද පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පිළිතුරු ලබා දුන්නේය.

“වී අලෙවි මණ්ඩලයෙන් ශත පහක් අරං තියෙනවයි කියලා ඔප්පු කලොත් ඇමතිකමෙනුයි මන්ත්‍රිකමෙනුයි දෙකෙන්ම අස්වෙනවා. අනෙක් පරීක්ෂණ ඔක්කොම තියලා මේක කඩිනමින් පරීක්ෂා කරන්න..” යයි එහිදී ඔහු පැවසුවේය.

අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ තමන්ට අසත්‍ය චෝදනා ඉදිරිපත් කරන පිරිසට එරෙහිව ලබන සතියේදි අධිකරණය හමුවේදි නඩු පවරන බවයි.


සබැඳි පුවත් :

'යහපාලන ටොප් ටෙන්' හයවැන්නෙන් චරිතට චෝදනා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top