Feb 02, 2017

මාන්කුලම් සංවර්ධනයෙන් රක්ෂිත තුනකට අබ සරණයි ! Featured

උතුරු පළාතේ අගනගරය ලෙස මුලතිව් දිස්ත්‍රික්කයේ මාන්කුලම් නගරය සංවර්ධනය කිරීමට අදාළ සංවර්ධන සැලැසුම හේතුවෙන් වන රක්ෂිත තුනක වනාන්තර අක්කර 7,200 ක් වැනසී යාමේ අවධානමක් මතුව ඇති බව පරිසර සංරක්ෂණ භාරය කියයි.

පරිසර සංරක්ෂණ භාරයේ අධ්‍යක්ෂ සජීව චාමිකර මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන පනික්කන්කුලම්, වන්නිවිලන්කුලම් හා මාන්කුලම් යන වන රක්ෂිත තුනට අයත් වනාන්තරවලට මින් හානි වන බවයි.

එම වන රක්ෂිතවල අක්කර 7200 ක් (හෙක්ටයාර 2900 ක්) නිදහස් කිරීමට සැලැසුම් කර ඇති බවත්, අක්කර 10,000 කින් (හෙක්ටයාර 4100 ක්) සමන්විත යෝජිත මාන්කුලම් නගර සංවර්ධන ව්‍යාපෘතියේ සමස්ත සැලැසුමට අනුව මෙම දැවැන්ත වන විනාශය සිදු කිරීමට සූදානම් වන බවයි.

පසුගිය රජයේ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යවරයා විසින් මාන්කුලම් නගර සංවර්ධනයට අදාළව ඉදිරිපත් කළ අංක 08/1444/350/058 දරන අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා 2008 අගෝස්තු 29 වැනිදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවද එහි දැක්වේ.

ඒ අනුව එවකට නාගරික සංවර්ධන හා ආගමික ප්‍රදේශ සංවර්ධන අමාත්‍යවරයා විසින් නාගරික සංවර්ධන පනතට අනුව 2009 සැප්තැම්බර් 22 වැනිදා අංක 1617/2 දරන ගැසට් නිවේදනය මඟින් නාගරික සංවර්ධන ප්‍රදේශයක් ලෙස මාන්කුලම් ප්‍රකාශයට පත් කර ඇති බව පැවසේ.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ අක්කර 10,000 ක් නැතහොත් වර්ග කිලෝමීටර 41 ක භූමි ප්‍රදේශයක් තුළ 2015 වසරේ සිට 2060 වසර දක්වා අදියර හතරක් යටතේ මෙම මාන්කුලම් නගර සැලැසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් වන බවයි.

ජනතාව පදිංචි කිරීම සඳහා හෙක්ටයාර 2,320 ක්, කර්මාන්ත සඳහා හෙක්ටයාර 400 ක්, වාණිජ කටයුතු සඳහා හෙක්ටයාර 160 ක් හා කෘෂි කාර්මික කටයුතු සඳහා හෙක්ටයාර 240 ක් වශයෙන් මෙම භූමිය විවිධ භාවිතාවන් සඳහා ලබා ගැනීමට සැලැසුම් කර ඇති බවද පැවසේ.

එහි මෙසේද දක්වා ඇත

2011 - 2030 ජාතික භෞතික සැලැස්මට  (National Physical Plan) අනුව මාන්කුලම් නගරය විශේෂ නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලැසුම් කර ඇත.

නමුත් මධ්‍යම පරිසර අධිකාරිය හා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඒකාබද්ධව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන හා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන මඟින් ලංකාවේ සියලූ රාජ්‍ය ආයතන වල සහභාගීත්වයෙන් සකස් කර 2014 වසරේ දී ප්‍රකාශයට පත් කරන ලද උතුරු පළාත් ක්‍රමෝපායික පාරිසරික ඇගයීම් වාර්තාවට Integrated Strategic Environmental Assessment of The Northern Province of Sri Lanka&  අනුව මාන්කුලම් නගරය සඳහා විනාශ කිරීමට යෝජිත වනාන්තර ත්‍රිත්වය ආරක්ෂා කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කළ යුතු බවටත් අලි ගැවසුම් ප්‍රදේශ හා අලි මංකඩවල් ලෙස ආරක්ෂා කළ යුතු බවටත් සඳහන් කර ඇත.

මෙම වනාන්තර ත්‍රිත්වය වර්ග කිලෝමීටර් 986 ක ජලධාරා ප්‍රදේශයකට හිමිකම් කියන කනකරායන් ආරු ගංගාවේ ප්‍රධාන ජල පෝෂක වනාන්තර වෙයි.

මේ වනාන්තර අලි - ඇතුන්ගේ ප්‍රධාන වාසස්ථාන වන අතර මෙම වනාන්තර එළි කිරීමෙන් අලි - මිනිස් ගැටුම වර්ධනය විය හැකිය.

මේ වන වට උතුරු පළාතේ අලි - මිනිස් ගැටුම වර්ධනය වන කලාපයක් ලෙස හඳුනාගෙන ඇත.

උතුරු හා නැගෙනහිර පළාත් වල යුද්ධය නිම වීමත් සමඟ ම රක්ෂිත වනාන්තර සීග්‍රයෙන් එළි කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය වසරේ දී උතුරු වනජීවී කලාපයේ අලි - ඇතුන් 35 ක් පමණ අලි - මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මිය ගොස් තිබේ.

සම්පූර්ණ ලිපිය පහතින්

Threat to Mankulam Forests 1

Threat to Mankulam Forests 2

Threat to Mankulam Forests 3

Threat to Mankulam Forests 4

Threat to Mankulam Forests 5

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top