Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Feb 02, 2017

රවී, සහල් මිල ගැන කනස්සල්ලෙන් !

සහල් සඳහා පනවා ඇති බදු සංශෝධනය කළද, එහි වාසිය පාරිභෝගිකයින්ට නොලැබීම සම්බන්ධයෙන් තමන් කණගාටුවට පත්වන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

මුදල් අමාත්‍යංශයේ අද (02) පැවති මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පෙර පැවැති සහල් කිලෝවක මුදලින් රුපියල් පහක් අඩු කර රුපියල් 76 දක්වා අඩු කළ බවත්, අනතුරුව ජනපතිවරයා සහ අගමැතිවරයාගේ මැදිහත්වීමෙන් හාල් සඳහා තවත් රුපියල් 10ක මුදලක් අඩු කළ බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

"පසුගිය සිකුරාදා දහවල් තමයි ජනාධිපතිතුමයි අගමැතිතුමයි මේ රුපියල් 10ක මුදල අඩු කළේ. මේ නිසා රුපියල් 90 ට තිබුණු සහල් කිලෝවක් රුපියල් 65 ට දෙන්න පුළුවන්. ඒත් මේ කූට සහල් වෙළෙන්දන් නිසා ඒ සහනය ජනතාවට ලැබෙන්නේ නෑ"

රතු කැකුළු, සුදු කැකුළු සහ නාඩු සහල් සඳහා මෙම රුපියල් 10ක මුදල අඩු කළ බවද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

"අපි කියන්නේ මේ හංගාගෙන ඉන්න සහල් කරුණාකරලා එළියට දාලා සහල් මිල අඩු කරන්න කියලයි. මට මුදල් අමාත්‍යවරයා විදියට මේ සඳහා මැදිහත් වෙන්න බැහැ. වෙළෙඳ සහ පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය තමයි ඊට මැදිහත් විය යුත්තේ. මේ අඩු කළ යුතු මුදල අපෙන් අඩුවෙලා තියෙනවා. ඒත් වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍යාංශය හරහා එය සිදු විය යුතුයි" අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

සහල් මිල අඩු කිරීම සම්බන්ධයෙන් වෙළඳුන් අවධානය යොමු කළ යුතු බවද මුදල් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top